සිම්බාබ්වේ හිටපු ජනපති මුගාබේ සමුගනී



අසහාය නායකයකු ලෙස වසර 37 ක් සිම්බාබ්වේ රාජ්‍යයේ ජනපති ධුරය හොබවා, පසුව ජනතා අප්‍රසාදයට පත්වී එම ධුරයෙන් සමු ගැනීමට සිදුවුණු රොබට් මුගාබේ අභාවප්‍රාප්ත විය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 95 කි.

පසුගිය අප්‍රේල් මාසයේ සිට මුගාබේ සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය. ඔහුට සිංගප්පූරු යෑමට විශේෂ ගුවන් යානයන් පවා වත්මන් ජනාධිපති එමර්සන් මුනගැග්වා ප්‍රමුඛ රජය කටයුතු කර තිබුණු බව ද වාර්තා වේ. සිම්බාබ්වේ අසහාය නායක මුගාබේ අහිමිවීම එරට වැසියන්ට විශාල පාඩුවක් බව ජනාධිපති මුනගැග්වා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.

මුගාබේ උපත ලැබුවේ 1924 පෙබරවාරි 21 වැනිදාය. ඒ වනවිට සිම්බාබ්වේ නමින් අප්‍රිකාවේ රටක් තිබුණේ නැත. සිම්බාබ්වේ එදා බ්‍රිතාන්‍ය කොලනියක් වූ අතර, එය හැඳින්වූයේ රොඬේෂියාව යනුවෙනි.

රොඬේෂියා රජය විවේචනය කළ බැවින් 1964 දී, මුගාබේට දශකයක් පමණ සිරබත් කෑමට සිදුවිය. ඔහු සිරගත කෙරුණේ කිසිදු නඩු විභාගයකින් තොරවය.

1973 දී සිරගතව සිටි මුගාබේ, ‘සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික එකමුතුව’ හෙවත් ‘සානූ’පක්ෂයේ නායකයා ලෙස තෝරා ගැනීහ සිදුවිය. එම පක්ෂය පිහිටුවීමෙහිලා පුරෝගාමී සාමාජිකයකු වූයේ ද මුගාබේය.

නිදහස ලැබීමෙන් පසු මුගාබේ මොසැම්බික් රාජ්‍ය්‍යට ගොස් රොඬේෂියා රජයට එරෙහිව ගරිල්ලා සටන් ඇරැඹීය. එසේ සටන් වදින ගමන්, රොඬේෂියා පාලකයන් සමඟ මුගාබේ සාකච්ඡා පැවැත්වීය. සාකච්ඡා පවත්වා එකඟතා ඇති කර ගැනීමෙහිලා මුගාබේ ශූරයෙක් විය.

හටගත් අර්බුදයට අවසානයේ දේශපාලනික විසඳුමක් හිමිවුණු අතර, රොඬේෂියාව ස්වාධීන රාජ්‍යයක් විය. ‘ස්වාධීන සිම්බාබ්වේ ජනරජය’ ලෙස එය හැඳින්විය. 1980 පැවැති පළමු මැතිවරණයෙන් ජනතා ආදරය මැද මුගාබේට විශිෂ්ට ජයක් හිමිවිය.

මුගාබේ සිම්බාබ්වේ වැසියන් වෙනුවෙන් කළ කැපකිරීම් සහ මෙහෙවර සුළුකොට තැකිය නොහැකිය. 1980 දශකයේ සිට දශක ගණනක්, අගමැති ධුරයත් ඉන්පසු ජනාධිපති ධුරයත් හොබවමින්, බලයේ සිටිද්දී, මුගාබේ ඔහුට විරෝධය දැක්වූ විපක්ෂ කණ්ඩායම් නිර්දය ලෙස මර්දනය කරන්න විය. අවසානයේ දී බලය අත්හැරීම ප්‍රතික්ෂේප කරමින් ඒකාධිපතිවාදී පාලන ක්‍රමයක් අනුගමනය කරන්න විය. ප්‍රතිවාදීන්ට තර්ජනය කරමින් ප්‍රචණ්ඩත්වය හරහා දිගටම බලයේ රැඳී සිටීමට මුගාබේ උත්සාහ කළේය.

අවසානයේ පාලක සානු පක්ෂයෙන්ම මුගාබේට විරෝධයක් නැගී  ආවේය. ඊට හමුදාවේත් විපක්ෂයේත් ජනතාවගේත් සහාය හිමිවිය. ඒ අනුව, කිසිදු චෝදනාවක් සම්බන්ධයෙන් නඩු පැවැරීමක් නොකිරීමට ඇතිකරගත් එකඟතාව මත මුගාබේ ජනාධිපති ධුරය අත්හැරියේය. ඒ, 2017 වසරේදීය. ඒ වනවිට මුගාබේ වසර 37 ක් සිම්බාබ්වේ ජනාධිපති ලෙස කටයුතු කර තිබුණි. මුගාබේ දෙවරක් විවාහ වූ අයෙකි. දරු දැරියෝ සිවු දෙනෙකි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS