සිනහමුසුව ජනතා සේවය නොකළොත් දඩ කන්න වේවි

සිනහමුසුව මහජනතාවට සේවය ලබා නොදෙන රාජ්‍ය සේවකයන්ගෙන් දඩ අය කර ගැනීමට පිලිපීනයේ මුලානේ නගරයේ නගරාධිපති ඇරිස්ටෝටල් ඇග්වයර් තීරණය කර තිබේ.
රජයේ කාර්යාලවලින් තම තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට පැමිණෙන මහජනතාව වෙනුවෙන් මිත්‍රශීලි වටපිටාවක් ඇති කරමින්, රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම තීරණය ගත් බව නගරාධිපතිවරයා පවසයි.
‘රාජ්‍ය සේවය ගැන ජනතාව සිටින්නේ කලකිරීමෙන්. බොහෝ දෙනකුගෙන් මැසිවිලි නගනවා. රාජ්‍ය සේවය කෙරෙහි ඇති විශ්වාසය පළුදු වෙලා. රාජ්‍ය සේවයට ඉහළ ජනතා ප්‍රසාදයක් ඕනෑ. ඒ නිසා මින් ඉදිරියට රාජ්‍ය සේවකයන් ජනතාවට සේවය සපයන විට සිනහමුසු මුහුණින් සේවය ලබා දීම කළ යුතුයි. එසේ සුහදශීලීව කටයුතු නොකරන රාජ්‍ය සේවකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නවා.’ යැයි නගරාධිපතිවරයා පැහැදිලි කර තිබේ.
ජනතාවට සුහදශීලී නොවී, කටයුතු කරන රාජ්‍ය සේවකයන් හෝ නිලධාරීන් මාස 6ක වැටුපකට සමාන උපරිම දඩයකට හෝ වැඩ තහනමකට හෝ ලක් කෙරෙනු ඇතැයි ද නගරාධිපති ඇරිස්ටෝටල් ඇග්වයර් පෙන්වා දී තිබේ.
ඇරිස්ටෝටල් ඇග්වයර්, නගරාධිපති ධුරයට පත්වී මාස 8 ක් යැයි පැවැසෙයි. නගරාධිපති ධුරයට තරග වදිද්දී පවා ඇරිස්ටෝටල් ඇග්වයර් ගුණාත්මක රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමට ප්රතිඳා දී තිබේ. ඒ අනුව, ජනතාවගෙන් එල්ල වන පැමිණිලි සැලකිල්ලට ගනිමින් ඔහු මෙම ‘සිනාසීමේ ප්‍රතිපත්තිය’ හඳුන්වා දී තිබේ.
‘ධීවරයන්, කෘෂි කර්මාන්තයේ නියැළෙන්නන් සහ දුෂ්කර පළාත්වල වැසියන් ඔවුන්ගේ කටයුතු සඳහා නගරයට පැමිණෙනවා. අවශ්‍ය වැඩේ කර ගන්න ඔවුන් පැය ගණනක් දින ගණනක් රස්තියාදු වෙනවා. රාජ්‍ය සේවකයන්ගෙන් සිදුවන කෙණෙහිළිකම් සම්බන්ධව දිනපතා පැමිණිලි ලැබෙනවා. ඒ අනුව ජනතාව සෑහීමකට පත්වන ආකාරයේ සේවයක් සැපයිය කළ යුතුයි.’ යැයි නගරාධිපතිවරයා පැහැදිලි තිබේ.
(රොයිටර්)

