සෑම ඡන්දයක්ම ගණන් කරන්න ඕනෑ



අවසන් මොහොත දක්වා, සෑම ඡන්දයක්ම ගණන් කළ යුතු යැයි ඩිමොක්‍රටික් ජනපති ධුර අපේක්ෂක ජෝ බයිඩන් පවසයි.

බයිඩන් මෙසේ කියා සිටියේ සිය ආධාරකරුවන් පමණක් නොව සමස්ත ඇමෙරිකානුවන් අමතමිණි. අද (6) වෙද්දී ඉලෙක්ට්‍රෝරල් කොලේජ් ඡන්ද වැඩි සංඛ්‍යාවක් හිමිකර ගනිමින් ඉදිරියෙන් සිටියේ හිටපු උප ජනාධිපතිවරයකු වන ජෝ බයිඩන්ය.

‘සෑම ඡන්දයක්ම ගණන් කළ යුතුයි. අවසන් ඡන්දය දක්වා ගණන් කළ යුතුයි. ඇමෙරිකාවේ ජනාධිපතිවරණය සංකීර්ණ ක්‍රියාවලියක්. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක්. එය අවසන් වනතුරු අප ඉවසීමෙන් බලා සිටිය යුතුයි’ යැයි බයිඩන් පැහැදිලි කළේය.

සෑම සිවු වසරකට වරක්ම ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙද්දී, එය පැවැත්වෙන්නේ නොවැම්බර් මාසයේ පළමු අඟහරුවාදා දිනයේය. ඇමෙරිකාවේ සම්ප්‍රදාය එයයි. ඒ අනුව, ඡන්ද ප්‍රතිඵල නිකුත් කර ජයග්‍රාහකයා තෝරා ගැනීම ඊට පසු දින එනම් බදාදා දිනයේ සිදුවෙයි.

 2000 වසරෙන් පසු සිට මේ දක්වා පැවැති ජනාධිපතිවරණවලදී මෙසේ ප්‍රතිඵල ප්‍රමාදයක් සිදුවූයේ නොවුණු අතර, මෙවර තත්ත්වය හාත්පසින්ම වෙනස් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

පසුගිය තුන්වැනිදා පැවැත්වුණු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අද (6) උදෑසන වනවිටත් ප්‍රකාශයට පත් වී නොතිබුණි.

මීට පෙර මේ අයුරින් ඇමෙරිකන් ජනාධිපතිවරණයකදී අවුල් සහගත තත්ත්වයක් පෙන්නුම් කළේ 2000 වසරේදීය. 2000 වසරේ, තරගය පැවැත්වූයේ අපේක්ෂකයන් දෙදෙනා වූ ඇල්බට් ගෝර් සහ ජෝර්ජ් බුෂ් අතරේය. ඒ, ෆ්ලොරීඩා ජනපදයේ ඡන්දය ගණන් කිරීමේ ගැටලුවක් මුල්කොට ගනිමිනි.

මෙම 2020 ජනාධිපතිවරණය සේම, 2000 ජනාධිපතිවරණයත්, ඉතාමත් තියුණු ස්වරූපයක් ගත් අතර අවසානයේ ජය පැරදුම තීරණය කෙරුණේ ෆ්ලොරීඩා ජනපදයේ ඡන්ද අනුවය. ෆ්ලොරීඩා ජනපදයේ ප්‍රාන්ත කීපයක ඡන්ද යළි යළිත් ගණන් කිරීම සිදුවිය.

2000 වසරේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා තීරණය කෙරුණේ එම වසරේ දෙසැම්බරයේය. ඉන්පසු මේ දක්වා, කිසිදු ජනාධිපතිවරණයක ප්‍රතිඵලයක් ප්‍රමාද වී නැතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

විල්වින්ටන් නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS