සැප නැවේ ඇමෙරිකානුවන් ආපසු ගෙන්වා ගැනෙයි

ජපානයේ යොකෝහාමා වරායේ නිරෝධායනය කර රඳවා තැබෙන ‘ඩයමන්ඞ් ප්රින්සේස්’ කෲස් නැවේ සිටින ඇමෙරිකානුවන් විශේෂ ගුවන් යානා දෙකකින් ආපසු ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට ඇමෙරිකන් රජය ඊයේ (16) පියවර ගත්තේය.
නව කොරෝනා වයිරසය පැතිර යෑම හේතුවෙන් ‘ඩයමන්ඞ් ප්රින්සේස්’ නමැති මෙම නැව පසුගිය පෙබරවාරි 3 වැනිදා සිට ජපානයේ යොකොහාමා වරායේ රඳවා තැබෙයි. නිරෝධායනය (වෙන් කිරීම) නිසා නැවේ සිටින කිසිවකුට ගොඩ බිමට පය තැබීමට හැකියාව නැත. නැවේ කාර්ය මණ්ඩලය සහ මගීන් ගණන 3,700 කි.
ජපානයේ යොකෝහාමා වරායට සේන්දු වෙද්දී නැවෙන් කොරෝනා වයිරස රෝගීන් 70 දෙනකු සොයා ගැණින. එය මේ වනවිට 355 තෙක් ඉහළ ගොස් ඇතැයි පැවැසෙයි.
නැවේ සිටි ඇමෙරිකානු මගීන් ගණන 400 කි. ඔවුන්ගෙන් කිහිප දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතඑ, එම පිරිස ට ජපන් සෞඛ්‍ය බලධාරීන් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙයි.
විශේෂ ගුවන් යානා දෙකකින් ඇමෙරිකන් රජය ආපසු ඇමෙරිකාවට ගෙන්වා ගත්තේ, නැවේ සිරවී සිටි වයිරසය ආසාදනය නොවූ ඇමෙරිකානුවන්ය. මෙම පිරිස බස් රථ පෙළකින්, ටෝකියෝවේ හනේඩා ගුවන්තොටුපොළට රැගෙන ගෙන යන ලදී. පිරිස ගුවන් යානාවලට ගොඩවූයේත් ඇමෙරිකාව බලා ගමන් ආරම්භ කළේත් ඉන්පසුවය.
ගුවන් මගින් ගෙනෙන මෙම පිරිස ඇමෙරිකන් ගුවන් කඳවුරුවලට යොමු කෙරෙන අතර තවත් දින 14 ක් ඔවුන් නිරෝධායනය කර තැබේ. මෙම පිරිසට වයිරසය ආසාදනය වී ඇති නම්, එම දින 14 ක කාලය ඇතුළත රෝග ලක්ෂණ මතුවනු ඇති බව ඇමෙරිකන් වසංගත රෝග පාලන ඒකක පවසා තිබේ.
ටෝකියෝහිදීය (ඒ.එෆ්.පී.)

