සාමයට සහාය

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සාමය ස්ථාපිත වනු දැකීම චීනයේ එකම බලාපොරොත්තුව බවත්, ඒ වෙනුවෙන් චීනයේ සහාය නොඅඩුව ලැබෙන බවත් චීන විදේශ ඇමැති කියයි.
උතුරු කොරියාව සමඟ පවතින මිතුදම් තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, චීන විදේශ ඇමැති වංග් යී මේ වනවිට උතුරු කොරියාවේ යොංග්යැන්ග් නුවර සංචාරයක නියැලෙයි. ඊයේ (3) ඔහු උතුරු කොරියා විදේශ ඇමැති රී යොංග් හෝ හමුවී සාකච්ඡා පැවැත්වීය.
උතුරු කොරියා නායක කිම් ජොන් උන්, පසුගිය 27 වැනිදා දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් හමුවී සාකච්ඡා කිරීමෙන් පසු, දෙරට අතර සාම වැඩපිළිවෙළක් ආරම්භ වී ඇත. සුහඳත්වයක් ද වර්ධනය වී ඇත. කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීම සඳහා උතුරු කොරියා නායක කිම් ජොන් උන් එකඟතාව පළ කර තිබේ.
සම්බාධකවලින් ලොවෙන් හුදෙකලා වී සිටිද්දී, උතුරු කොරියාව සහ චීනය යහපත් සබඳතා පැවැත්වීය. උතුරු කොරියාව සමීප සබඳතා පැවැත්වුණු පළමු රට චීනයයි. උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන පවත්වාගෙන ගියේ ද චීනයේ සහාය ඇතිවය.
දැන් ලොවට හොඳහිත පෙන්වීමක් වශයෙන් න්‍යෂ්ටික සහ මිසයිල කටයුතු නවතා දැමීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් පියවර ගෙන ඇත. උතුරු කොරියා නායකයා සහ නියෝජිතයන් පිරිසක් විශේෂ දුම්රියකින් දේශසීමා හරහා මීට සති කිහිපයකට පෙර චීනයට ගොස් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා පැවැත්වීය.
(ඒ.එෆ්.පී.)

