සාම සාකච්ඡා අසාර්ථකයි



යුක්රේන සහ රුසියන් නියෝජිතයන් අතරේ, පැය පහකට ආසන්න කාලයක් තිස්සේ පැවැති සාම සාකච්ඡා අසාර්ථක වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

යුක්රේන, රුසියන් නියෝජ්‍ය විදේශ අමාත්‍යවරුන් සහ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් යුක්රේන බෙලරූස් දේශසීමාවේ පැය 5 ක් තිස්සේ සාකච්ඡා පැවැත්විණි.

යුක්රේන නියෝජිතයන් ඉල්ලා සිටියේ සටන් විරාමයක් අවශ්‍ය බවය. එහෙත්, රුසියන් නියෝජිතයන්ගේ කැමැත්ත ඊට යොමු නොවිණි. සාකච්ඡා පැවැත්වෙද්දී පවා යුක්රේනයට කඩා වැදී සිටින රුසියන් හමුදා යුක්රේන නගරවලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බව වාර්තා වේ.

අද (1) වනවිට,  රුසියන් හමුදා ප්‍රහාරවලින් යුක්රේනයේ සිවිල් වැසියන් තුන්සිය පනස් දෙදෙනකු මියගොස් ඇති බවත්, කුඩා දරුවන් 14 දෙනකු ඒ අතරේ සිටින බවත් යුක්රේන රජය නිකුත් කළ වාර්තාවක දැක්විණි. 

රුසියන් හමුදා යුක්රේනයට එරෙහිව යුද ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ යුක්රේන හමුදා අඩපණ කරන බවත් සිවිල් වැසියන්ට පහර දීමක් සිදු නොකරන බවත් පවසමිනි.

කෙසේ නමුත් මේ වනවිට රුසියන් හමුදා සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් පහර දෙන බවටත්, යුද අපරාධ සිදු කරන බවටත් යුක්රේන රජය චෝදනා නගා තිබේ.

රුසියන් යුක්රේන යුද ගැටුම් හේතුවෙන් මිලියන අඩක් පමණ යුක්රේන සිවිල් වැසියන් අසල්වැසි රටවලට පලා ගොස් ඇතැයි ද පැවැසෙයි.

පෝලන්තය, රොමේනියාව ඇතුළු යුක්රේනයේ අසල්වැසි රටවල් පවසා ඇත්තේ යුද ගැටුම් හේතුවෙන් අසරණ වන යුක්රේන සිවිල් වැසියන් කොන්දේසි විරහිතව, තම රටවලට ගෙන්වා ගන්නා බවය.

(රොයිටර්)


RECOMMEND POSTS