ස්වීඩන අගමැති ධුරයට යළිත් වරක් මැග්දලේනා



ස්වීඩන පාර්ලිමේන්තුව (රික්ස්ටාග් මන්ත්‍රණ සභාව) එරට අග්‍රාමාත්‍ය ධුරය සඳහා යළිත් වරක් මැග්දලේනා ඇන්ඩර්සන් පත් කර ගත්තේය. ඒ අනුව, ස්වීඩනයේ පළමු අග්‍රාමාත්‍යවරිය වන්නේ මැග්දලේනා ය.

මැග්දලේනා මීට දින පහකට පමණ පෙර අග්‍රාමාත්‍ය ධුරයට පත් වූවාය. ඒ, එරට පාර්ලිමේන්තුවේ මැදිහත් වීමෙනි. පැය කීපයක් ගතවීමට පෙර ඇය ධුරයෙන් ඉල්ලා අස්වූයේ, නිල වශයෙන් රාජකාරි කිසිවක් ආරම්භ කිරීමට පෙරය.

මැග්දලේනා එසේ ධුරයෙන් ඉවත් වූයේ ඇය, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය පරාජය වීමත්, ඇගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමඟ සන්ධානගතව සිටි හරිත පක්ෂය එම සන්ධානයෙන් ඉවත්වීමත් නිසාය. හරිත පක්ෂය සන්ධානයෙන් ඉවත් වූයේ ඇන්ඩර්සන්ගේ අයවැය පිළිගත නොහැකි බව පෙන්වා දෙමිනි.

54 හැවිරිදි මැග්දලේනා ඇන්ඩර්සන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායිකාව ලෙස කටයුතු කරන්නේ පසුගිය නොවැම්බර් 4 වැනිදා සිටය.
පාසල් වියේ දී මැග්දලේනා ඇන්ඩර්සන් පිහිනුම් ශූරියක ලෙස ජයග්‍රහණ රැසක් දිනා ඇත. ඇය දේශපාලනයට පිවිසියේ 1996 වසරේදීය.

ඒ එවකට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ගොරෙන් පර්සන්ගේ උපදේශිකාවක ලෙසය. ඇය ස්වීඩනයේ මුදල් අමාත්‍යවරිය ලෙස වසර 7 ක් එම ධුරය හොබවා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS