ස්ලොවේකියා අගමැතිගේ තත්ත්වය බරපතල නෑ



වෙඩි ප්‍රහාරයකට ලක්වුණු ස්ලොවේකියා අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝගේ තත්ත්වය බරපතල නොවන බවත්, වෙඩි ප්‍රහාරයට ලක්වුණු සැණින් රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ඔහු ප්‍රතිකාර ලබමින් සිටින බවත් ස්ලොවේකියා නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තෝමාස් ටරාබා මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කෙළ්ය.

වෙඩි වැදුණු සැණින් ආරක්ෂක අංශ නිලධාරීන් වහා මැදිහත් වී, රෝහල්ගත කළ අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝ ට සැත්කම් කිහිපයක් සිදු කෙරුණි. වෙඩි වැදී තිබුණේ හිසට සහ පපුවටය. වෙඩි තැබීම කළේ 71 ක් හැවිරිදි අයෙකි. ඔහු ලේඛකයකු බව පොලිසිය පසුව පැවැසීය. මේ වනවිට ඔහු පොලිස් අත්අඩංගුවේ පසුවෙයි. වෙඩි තැබීම කරන්න ඇත්තේ දේශපාලන පළිගැනීමක් නිසා යැයි සැක කෙරේ.

යුරෝපා රාජ්‍යයක් වන ස්ලොවේකියාව පෝලන්තයට, ඔස්ට්‍රියාවට, යුක්රේනයට, හංගේරියාවට සහ චෙක් ජනරජයට මායිම් වෙයි. අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝ රුසියන් හිතවාදියකු වන අතර, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ මිතුරෙකි. රුසියානු පක්ෂපාතීත්වය නිසාම අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝ බටහිර රටවල උදහසට ලක් වූ අයකු ලෙස ද ප්‍රකටය. පසුගිය කාලයේ, අවස්ථා කීපයකදී, අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝ, යුක්රේනය සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී දැඩි ලෙස විවේචනය කර තිබුණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS