ස්පුට්නික් 5 එන්නත සියයට 92 ක් සාර්ථකයි

තම විද්‍යාඥයන් විසින් නිපදවනු ලැබූ ‘ස්පුට්නික් 5’ යන නමින් නම් කළ කොරෝනා වළකන එන්නත සියයට 92 ක් සාර්ථක යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ජනාධිපති පුටින් මෙසේ පැවැසුවේ, ජර්මනියේ ‘බයෝ ඇන් ටෙක්’ සහ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ සමාගම් එක් වී නිපදවූ කොරෝනා ආසාදනය වළක්වන එන්නත කෙරෙහි ලෝකයේ අවධානය යොමු වී ඇති අවස්ථාවකය.
‘බයෝ ඇන් ටෙක්’ සහ ‘ෆයිසර්’ ඖෂධ සමාගම් එක් වී නිපදවන එම එන්නත, සියයට 90 ක් සාර්ථක බවත් අතුරු ආබාධ කිසිවක් නොමැති බවත් එම සමාගම් පසුගිය දා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
“ජර්මනියේ බයෝ එන් ටෙක් සහ ඇමෙරිකාවේ ෆයිසර් ඖෂධ සමාගම් එක් වී නිර්මාණය කළ එන්නත සාර්ථක වේවි. ඒ ගැන විවාදයක් නැහැ. ඒත් අපගේ විද්‍යාඥයන් ස්පුට්නික් 5 එන්නත හැදුවේ මාස ගණනකට කලින්. එය තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් සාර්ථකව අවසන් කළා. එන්නත සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කර තිබුණත්, තවමත් අනුමැතිය ලැබී නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය උනන්දු වන්නේ බටහිර එන්නතක් ගැන පමණයි. රුසියාව හෝ චීනය නිපදවන එන්නත් ගැන තැනීමක් නැහැ.” යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මාධ්‍ය පවසා ඇත.
රුසියාව මේ වනවිට ස්පුට්නික් 5 එන්නතට අමතරව, කොරෝනා ආසාදනය වීම වළක්වන තවත් එන්නත් දෙකක් ද නිපදවා තිබේ. ‘බයෝ ඇන් ටෙක්’ සහ ‘ෆයිසර්’ ඖෂධ සමාගම් එක් වී නිපදවන එන්නත සේම, රුසියාවේ එන්නත්වලින් ද සිදුවන්නේ, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තියක් නිර්මාණය කෙරේ.
සියයට 92 ක් සාර්ථක බව පැවැසෙන ‘ස්පුට්නික් 5’ එන්නත ලොව පළමුවෙන් ම ලියාපදිංචි කළ කොරෝනා ආසාදනය වීම වළක්වන එන්නත ද වෙයි. රුසියාව මෙම නමින් එන්නත නම් කර ඇත්තේ ලොව පළමු චන්ද්‍රිකාව වූ ‘ස්පුට්නික් 1’ සිහි ගන්වමිනි. පළමුවෙන් චන්ද්‍රිකාවක් කක්ෂගත කළේ සෝවියට් සමූහාණ්ඩුවය.
මොස්කව්හිදීය (රොයිටර්)

