සම්බාධක ලිහිල් කරන්න

න්‍යෂ්ටික අවිහරණය කරන බවට පොරොන්දුවක් දී, එම අවිහරණ කටයුතු ආරම්භ කළ උතුරු කොරියාවට හොඳහිත පෑමක් ලෙස එරටට පනවා ඇති සම්බාධක ලිහිල් කරමු යැයි නිව්යෝක් නුවර පැවැත්වෙන 73 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ දී රුසියාව යෝජනා කර තිබේ.
මෙම යෝජනාව රුසියාව වෙනුවෙන් ඉදිරිපත් කළේ රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව්ය. යෝජනාව ඉදිරිපත් කෙරුණේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවටය.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික කි‍්‍රයාකාරකම් සහ මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඇමෙරිකාව පමණක් නොව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රබල සාමාජිකයෙකි.) ද උතුරු කොරියාවට ආර්ථික වශයෙන් මෙන්ම රාජ්‍ය තාන්ති‍්‍රක වශයෙන් ද සම්බාධක පනවා ඇත.
උතුරු කොරියා නායක කිම් ජොන් උන් සාමයට කැපවී, න්‍යෂ්ටික අවිහරණයට කැමැත්ත දක්වා ඇත. එපමණක් නොව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතරේ ද යහපත් සබඳතා පවතී.
එසේ වුවත්, ඇමෙරිකාව වෙනුවෙන්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ පවසා ඇත්තේ, උතුරු කොරියාව ඔවුන්ගේ අවිහරණ කටයුතු මුළුමනින්ම අවසන් කරන තෙක්, සම්බාධක ඉවත් කිරීමක් සිදු නොකරන බවය.
(ඒ.එෆ්.පී.)

