සඳෙන් පස් අරන් චීන යානය එයි
‘කොවිඩ් 19’ වයිරස වසංගතය හමුවේ තම බලපුළුවන්කාරකම් ලොවට පෙන්වමින් චීනය සඳට යැවූ රොබෝ යානය, අද (17) සඳෙන් ලබා ගත් පස් සාම්පල ද සමඟ යළි පෘථිවිය බලා පැමිණියේය.
චීන අභ්‍යවකාශ ආයතනය සඳෙන් පසු ලබා ගැනීමට යැවුණු මෙම යානය නම් කෙරුණේ, ‘චැංග්ඊ5’ යනුවෙනි. චීනයේ පැරණි මිත්‍යා කථාවලට අනුව ‘චැංග්ඊ’ යනු සඳට අධිපති දෙවඟනය.
පෙර ලබා දී උපදෙස් අනුව, ‘චැංග්ඊ5’ යානයට අයත් කැප්සියුලය, උතුරුදිග චීනයේ මොංගෝලියාවට අයත් ප්‍රදේශයකට පැරෂූට් ආධාරයෙන් පතිත කෙරුණි.
ඒ අනුව, ‘චැංග්ඊ5’ මෙහෙයුම සියයට සියයක් සාර්ථක වුණු බව චීන ජාතික ගගන පර්යේෂණ අධිකාරිය උපුටා දක්වමින් චීන පුවත් සේවා වාර්තා කර තිබේ. චීන යානය ආපසු ගෙනා පස් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 2 කි.
පෘථිවි යානයක් සඳෙන් පස් සාම්පල ලබා ගැනීම මෙසේ සිදුවූයේ දශක 4 කට පසුව යැයි පැවැසෙයි. මීට පෙර මෙවැනි වික්‍රම කළේ සෝවියට් රුසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
‘චැංග්ඊ5’ යානය කොටස් කිහිපයකින් යුක්ත විය. ප්‍රධාන යානය මවු යානයක් සේ ක්‍රියා කළ අතර, එය සඳට ගොස් සඳුගේ කක්ෂයේ රැඳී සිටියේය. සඳට ගොඩබාමින් පස් සාම්පල ලබා ගත්තේ තවත් කුඩා රොබෝ යානයකි.
එම රොබෝ යානය පස් සාම්පල ද සමඟ මවු යානය සමඟ එක් වුණු අතර, ‘චැංග්ඊ5’ මවු යානය පෘථිවිය බලා ගමන් ආරම්භ කළේ මීට දින 3 කට පෙරය. අවසන් වරට මේ අයුරින් සඳෙන් පස් ගෙනාවේ සෝවියට් රුසියානුවන්ගේ ‘ලූනා 24’ යානයයි. ඒ, 1976 දීය.
බීජීං අගනුවරදීය (ඒ.එෆ්.පී.)

