සතුට වැඩිවෙලා අසැබි වදනක් කියැවිලා



ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මිටර් 400 කාන්තා නිදහස් ආර පිහිනුම් ඉසව්ව ජයග්‍රහණය කරමින් රන් පදක්කම දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු පිහිනුම් ශූරිය කේලී මැකෝන් සමත් වූවාය.

ලැබූ ජයග්‍රහණයත් සමඟ අතිශය සතුටට පත්ව සිටි කේලී වට කර ගනිමින් ඕස්ට්‍රේලියාවේ චැනල් 7 නාළිකාවේ ක්‍රීඩා පුවත් මාධ්‍යවේදියා ඇයගෙන් එම ජයග්‍රහණය ගැන අදහස් විමසීමක් කළේ සජීවීව ඕස්ට්‍රේලියාව හා සම්බන්ධ වෙමිනි.

ජයග්‍රහණයේ සතුට වැඩිකමට තමන් සජීවී මාධ්‍ය අදහස් දැක්වීමකට සම්බන්ධ වූ බව පවා කේලීට මොහොතකට අමතක වී තිබුණි.

ඕස්ට්‍රේලියාවේ ගෙදර සිටින මවට සහ නැගණියට මේ මොහොතේ නිවසේ සිට මේ පුවත නරඹනවා, එයාලට මොනවා හරි කියන්න තියෙනවාදැයි චැනල් 7 නාළිකාවේ මාධ්‍යවේදියා විමසූ අවස්ථාවේදී ජයග්‍රහණයෙන් අතිශය සතුටට පත්ව සිටි කේලී මයික්‍ර‍ෆෝනයට බෙරිහන් දුන්නේ “F*** yeah” යනුවෙනි.

තමන්ගේ කටින් නරක වචනයක් පිටවුණු බව වැටහුණු සැණින්, ඇය දෑතින්ම කට වසා ගත්තාය.

රන් පදක්කමක් දිනා ගැනීමට තම පිහිනුම් ශූර දියණියට හැකිවීම ආරම්බරයක් බවත්, ඒ සම්බන්ධයෙන් තමන් සතුටට පත් වෙන බවත් පවසමින්, දියණියට කට පාලනය කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන්, ඇය ආපසු නිවසට පැමිණි වහාම ඇයට තරවටු කරනවා යැයි කේලිගේ මව පවසා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS