සංක්‍රමණික සේවකයන්ගෙන් අඩකට කොරෝනා



සිංගප්පූරුවේ විදෙස් සංක්‍රමණික සේවක සේවිකාවන්ගෙන් සියයට 47 කට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදනය වී ඇතැයි පැවැසෙයි.

වයිරසය ආසාදනය වී ඇති විදෙස් සංක්‍රමණික සේවක සේවිකාවන් ගණන 1,52,000 ක් බව පැවැසෙයි. වයිරසය ආසාදනය වී ඇති සිංගප්පූරු වැසියන් ගණන 4,000 ක් පමණි.

ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම ජර්මනියේ බයෝඇන්ටෙක්’ සමාගම සමඟ එක් වී නිපදවා ඇති ‘කොවිඩ් 19’ ආසාදනය වීම වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත මේ වනවිට සිංගප්පූරු රජය විසින් මිලදී ගනු ලැබ ඇති අතර එය බෙදා දීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ‘ෆයිසර්’ සමාගම නිපදවූ ‘කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත මිලදී ගෙන තම වැසියන්ට ලබා දෙන පළමු ආසියානු රට වන්නේ සිංගප්පූරුවය. සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැං ලූන් පවසා ඇත්තේ එන්නත සිංගප්පූරු වැසියන්ට පමණක් නොව, දිගු කාලීනව සිංගප්පූරුවේ පදිංචිව සිටින සංක්‍රමණික සේවක සේවිකාවන්ට ද එන්නත නොමිලේ ලබා දෙන බවය.

පළමු අදියර යටතේ එන්නත ඉදිරිපෙළ සෞඛ්‍ය අංශ සාමාජිකයන්ට ලබා දෙන බවත්, පළමු අදියරේ දී තමන් ද එන්නත ලබා ගන්නා බවත් අග්‍රාමාත්‍ය ලී සියැං ලූන් පවසා ඇත. ඒ, එන්නත ආරක්ෂාකාරී බව ජනතාවට පෙන්වා දෙමින් යැයි ද පැවැසෙයි.

සිංගප්පූරුවේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS