ශුද්ධෝත්තම පාප්තුමා සෝපානයක හිරවෙලා



වතිකානයේ ශාන්ත පීටර්ස් චතුරස්‍රයේ දේව මෙහෙයට සහභාගී වීමට යද්දී, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් විදුලි සෝපානයක් තුළ සිරවිය.

සෝපානය හිටිහැටියේ අක්‍රිය වී ගොස් ඇත්තේ හදිසියේ සිදුවුණු විදුලි විසන්ධිවීමක් හේතුවෙනි. ඒ අනුව, 82 හැවිරිදි පාප්තුමන් සහ එතුමන්ගේ සහායකයන් කණ්ඩායම මිනිත්තු 25 ක් සෝපානය තුළ සිරවී සිටි බවත්, ඔවුන් බේරා ගැනීම සිදුවූයේ ගිනි නිවන භටයන්ගේ මැදිහත් වීමෙන් බවත් වතිකාන පුවත් සේවා වාර්තා කරයි. පාප්තුමන් දේව මෙහෙයට සහභාගී වූයේ මිනිත්තු 25 ක ප්‍රමාදයකින් පසුවය.

සිනහමුසු මුහුණින්, දේව මෙහෙයට එක්ව සිටි බැතිමතුන් අමතමින් පාප්තුමන් පළමුවෙන් කළේ ඔවුන්ගෙන් සමාව ඉල්ලීමය. ‘මට සමාවෙන්න. ප්‍රමාද වුණා. විදුලි බලයේ අඩු වැඩි වීමක් නිසා සෝපානය හිරවුණා. දෙවියන්ට ස්තුති වෙන්න, ගිනි නිවන භටයන් ආවා. මිනිත්තු 25 කට පස්සේ සෝපානය ක්‍රියා කරන්න ඔවුන්ට හැකියාව ලැබුණා. මම ඔවුන්ට හුඟක් ස්තුතිවන්ත වෙනවා.’ යැයි පාප්තුමෝ පිරිස අමතමින් සිය ප්‍රමාදය ගැන පැහැදිලි කළේය.

සෑම ඉරිදාවකම පැවැත්වෙන මෙම දේව මෙහෙය ඉතාලි රූපවාහිනී නාළිකා ඔස්සේ සජීවීව විකාශය කෙරේ. පාප්තුමන් දේව මෙහෙයට පැමිණීම ප්‍රමාද වෙද්දී, එම නාළිකාවල නිවේදක නිවේදිකාවන් අනුමාන කර නරඹන්නන්ට පවසා ඇත්තේ, පාප්තුමා අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බැවින් එතුමන් ප්‍රමාද වී පැමිණෙනු ඇති බවය.

වතිකානයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS