ශ්‍රී ලාංකික කතුන් අජ්මාන්හි රස්තියාදුවේ



                                                                         

   ( විනීතා එම් ගමගේ)

සංචාරක  වීසා මත ගෘහ සේවිකා රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකික කාන්තාවන් සිය ගණනක් ඩුබායි හි අජ්මන් පෙදෙසේ රස්තියාදු වෙමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ නීතිඥ උපුල් දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

මොවුන්ට ස්ථීර සේවා ස්ථානයක් නොමැති බවත්, අජ්මන් පෙදෙසේ පිහිටි පදික වේදිකාවකට උදේ එන මෙම පිරිස් හාම්පුතුන් පැමිණ එදිනෙදා කුලී රැකියා සඳහා ගෙන යන බවත් කී ඒ මහතා එම හාම්පුතුන් පැමිණ ශ්‍රී ලාංකික කාන්තාවන් අතරින් ඔවුන් කැමති අය තෝරා ගෙන යන බව ද කීවේය.

මෙය ඔවුන්ගේ ආත්ම ගෞරවයට මෙන්ම රටේ අභිමානයටද ඉතා අහිතකර සේ බලපාන බවද හෙතෙම සඳහන් කළේය.

අජ්මාන් පෙදෙසේ සිටින එම ශ්‍රී ලාංකික කාන්තාවන් බොහෝ දෙනෙක්  ඒජන්සිකරුවන් විසින් එහි යවා ඇත්තේ රැකියා ස්ථාන ලබා දෙන බවට පොරොන්දු වෙමින් බව කි දේශප්‍රිය මහතා මොවුන් වෙනුවෙන් කාර්යංශය ලබා දෙන සුභසාදන කිසිවක් හිමිනොවන බවද පැවැසීය.

ලියාපදිංචි විදේශ රැකියා ආයතනයකින්, නීත්‍යානුකූල රැකියා ගිවිසුමක් අත්සන් කොට විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබාගෙන විදේශ ගත වීමෙන් මෙවැනි කරදරවලට මුහුණ පෑමට සිදුනොවන බවද දේශප්‍රිය මහතා තවදුරටත් සඳහන් කළේය


RECOMMEND POSTS