විපක්ෂ නායකයාට අගමැති ධුරය



ආමේනියාවේ විරෝධතා රැලි මෙහෙයවූ විපක්ෂ නායක නිකොල් පෂින්යාන් එරට අගමැති ධුරයට පත්වනු ඇතැයි වාර්තා වේ.

ආමේනියාවේ අගමැති ධුරය හෙබවූයේ ෂෙර්ම් සර්ග්සායන් ය. සර්ග්සායන් නියෝජනය කරන්නේ රිපබ්ලිකන් පක්ෂය වන අතර 1999 වසරේ සිට ආමේනියාවේ බලයේ රැඳී සිටියේ ද මෙම පක්ෂයයි.

මීට සති කිහිපයකට පෙර ආමේනියාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීය. එයින් ද ෂෙර්ම් සර්ග්සායන් ජයග්‍රහණය කළේය. ඔහු යළි අගමැති ධුරයේ දිවුරුම් දුන්නේය.

ඊට එරෙහිව ජනතාව මෙහෙයවමින්, විපක්ෂ නායක නිකොල් පෂින්යාන් විරෝධතා මෙහෙයවූයේ දිගටම බලයේ රැඳී සිටීමට කටයුතු කරනවා යැයි ෂෙර්ම් සර්ග්සායන්ට චෝදනා කරමිණි.

විරෝධතා උත්සන්න වෙද්දී සර්ග්සායන්ට දිගටම බලයේ රැඳී සිටිය නොහැකි වුණු අතර පසුගිය අප්‍රේල් 23 වැනිදා ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය.

ආමේනියා පාර්ලිමේන්තුව යළි මැතිවරණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඊට ඉදිරිපත් වන එකම අපේක්ෂකයා විපක්ෂ නායක නිකොල් පෂින්යාන් පමණි. පාලක පක්ෂය ලෙස කටයුතු කළ රිපබ්ලිකන් පක්ෂය පවසා ඇත්තේ, ෂෙර්ම් සර්ග්සායන් ජනතා අප්‍රසාදයට පත්වීම නිසා තමන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බවය.

අද වෙනම රාජ්‍යයක් බවට පත් වී සිටියත් ආමේනියාව අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් විය. ආසියාව සහ යුරෝපයට මැදිව කොකේසස් පළාතේ ආමේනියාව පිහිටා ඇත. ආමේනිවාය තුර්කියට මායිම් වෙයි. ආමේනියාවේ අගනුවර ලෙස සැළකෙන්නේ යෙරෙවාන්ය.

(රොයිටර්)


RECOMMEND POSTS