විධායක නියෝගයට හරස්වුණු විනිසුරුවරයාට ට්‍රම්ප් දෙහි කපයි



තම විධායක නියෝගයට හරස්වුණු ඇමෙරිකාවේ සියැටල් විනිසුරු ජේම්ස් රොබර්ට්ස්ට දොස් නගමින්, ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත්තේ ‘මොකක් හෝ වුණොත්’ එහි වගකීම එම විනිසුරු රොබර්ට්ස් බාර ගත යුතු බවය.

ඩොනල්ඞ් ට්‍රම්ප් එම විධායක නියෝගය නිකුත් කළේ මුස්ලිම් රටවල් හතක වැසියන් ඇමෙරිකාවට පැමිණීම තාවකාලිකව නවතමිණි. ජනාධිපතිවරයාගේ විධායක නියෝගවලට අභියෝග කිරීම කළ නොහැකි යැයි ඇමෙරිකන් නීති දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබුණ ද සියැටල් විනිසුරු ජේම්ස් රොබර්ට්ස් ට්‍රම්ප් වාරණ නියෝගය නිකුත් කරමින් ට්‍රම්ප්ගේ විධායක නියෝගය අහෝසි කළේය.

එම වාරණ නියෝගයත් සමඟ ජනපති ට්‍රම්ප් මුස්ලිම් රටවල් 7 ක් වන ඉරානය, සෝමාලියාව, සුඩානය, ලිබියාව, ඉරාකය, යේමනය සහ සිරියාවේ වැසියන්ට පැනැවූ දින 90 ක තහංචිය අවලංගු වන බව ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි. ට්‍රම්ප්ගේ අදහස වී ඇත්තේ මෙම රටවල් හතෙන් පැමිණෙන සංක්‍රමණිකයන් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියාය.

විනිසුරු ජේම්ස් රොබර්ට්ස් ලබා දුන් එම වාරණ නියෝගය හේතුවෙන් තමන් තහනම් කළ රටවල් හතට අයත් පුද්ගලයකු ඇමෙරිකාව තුළ කිසියම් ආකාරයක ත්‍රස්ත ක්‍රියාවක් සිදු කළහොත් එයි වගකීම විනිසුරු රොබර්ට්ස් බාරගත යුතු බවත් ඒ වෙනුවෙන් ජේම්ස් රොබර්ට්ස් වගකිව යුතු බවත් ට්‍රම්ප් පවසා ඇත.

කෙසේ නමුත් විනිසුරු රොපර්ට්ස් ලබා දුන් තීන්දුවට එරෙහිව යෑමක් මේ මොහොතේ සිදු නොකරන බවත්, එම මුස්ලිම් රටවල් හතෙන් පැමිණෙන සියලුම දෙනා දැඩි ලෙස සෝදිසි කිරීමට ලක් කරන ලෙසටත් ඔවුන් ගැන නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවන ලෙසටත් ට්‍රම්ප් ඇමෙරිකන් ආරක්ෂක අංශවලින් ඉල්ලීමක් කර ඇත.

 

(රොයිටර්)


RECOMMEND POSTS