විදේශිකයන්ට ඉලෙක්ට්‍රොනික් මෙවලමක්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන්, සිංගප්පූරුවට පැමිණීමට අවසර හිමිවන විදේශිකයන්ට ඔවුන් රැඳී සිටින ස්ථානය පෙන්වන ඉලෙක්ට්‍රොනික උපාංගයක් ලබා දෙන බවත්, එය සැමවිටම ළඟ තබා ගත යුතු බවත් සිංගප්පූරු රජය කියයි.

වයිරස වසංගතය මධ්‍යයේ සිංගප්පූරුව ඔවුන්ගේ දේශසීමා යළි විවෘත කිරීමට සැරැසෙයි. බලධාරීන් පවසා ඇත්තේ ලබන 11 වැනිදා සිට දේශසීමා තෝරාගත් රටවල් කීපයක් සඳහා පමණක් විවෘත කරන බවය.

විදේශවලින් පැමිණෙන පිරිස් නිරෝධායන කඳවුරුවලට හෝ නිරෝධායන මධ්‍යස්ථානවලට හෝ යොමු නොකෙරේ. ඉලෙක්ට්‍රොනික උපාංගය ලබා ගැනීමෙන් පසු ඔවුන් ඔවුන්ගේ නිවෙස්වලට හෝ නවාතැන්පොළට හෝ ගොස් දින 14 ක් ස්වයං නිරෝධායනය විය යුතුය. සෞඛ්‍ය උපදෙස් ලබා දීම සිදුවන්නේත්, බලධාරීන් විදේශිකයන් ගැන විමසිල්ලෙන් පසුවන්නේත් මෙම ඉලෙක්ට්‍රොනික උපාංගය හරහාය.

දින 14 ඇතුළත අනවසරයෙන් නිවසින් හෝ නවාතැනින් හෝ පිටවන පුද්ගලයන් සිටින්නේ නම්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සූදානමින් සිටින බව ද පැවැසෙයි.
සිංගප්පූරුවෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන 53,051 කි. 49,926 දෙනකු සම්පූර්ණයෙන් සුවය ලබා ඇති අතර, තවමත් රෝහල්ගතව සිටින්නේ 313 ක් පමණි. සිංගප්පූරුවෙන් මරණ 27 ක් වාර්තා වෙයි.

සිංගප්පූරුවේදීය (රොයිටර්)


RECOMMEND POSTS