වායු දූෂණය තවත් උත්සන්න වෙයි
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය අද (14) වෙද්දී තවත් ඉහළ ගිය බවත්, පාසල් සහ කර්මාන්ත ශාලා වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති බවත් වාර්තා වේ. හෙට දිනයේ ද පාසල් සහ කර්මාන්ත ශාලා වසා දැමෙන බව පැවැසෙයි.
ඉන්දීය බලධාරීන් පෙන්වා දෙන අන්දමට නවදිල්ලි අගනුවර වායු දූෂණය මේ වනවිට උපරිම මට්ටමට පත් වී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති. නවදිල්ලි අගනුවර වායු දූෂණය ඉහළ යෑමට පටන් ගත්තේ මීට දින කීපයකට පෙර සිටය.
නවදිල්ලි අගනුවර වසාගෙන පැතිර පවතින්නේ දූවිලි සහ දුම්වලින් නිර්මාණය වූ අපවිත්‍ර වායු පටලය. ස්වසන රෝග වැඩි කිරීම සහ ස්වසන ආබාධ ඇති කිරීමට මෙම විස වායු සංඝටක හේතු වන බව වෛද්‍යවරු පෙන්වා දෙති.
වායු දූෂණය අවම කර ගැනීමට දිල්ලියේ රථ වාහන සීමා කර ඇති බව ද පැවැසෙයි. මේ අතර වායු දූෂණයට පිළියම් සොයන ඉන්දීය මධ්‍යම රජය ඒ සම්බන්ධයෙන් ජපානයේ සහාය ලබා ගැනීමට සූදානම් යැයි පැවැසෙයි.
නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)

