වයිසරය මඬින්න ට්‍රම්ප්ට ඩොලර් බිලියන 8 ක්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මැඬලීමට ඇමෙරිකන් ඩොලර් බිලියන 8.3 ක මුදලක් ලබා දීමට ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) අනුමැතිය හිමිවිය.

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය වේගයෙන් ඇමෙරිකාව පුරා පැතිරෙන බව වාර්තා වේ. වයිරසය හේතුවෙන් මියගිය ගණන 11 දක්වා ඉහළ ගියේය. වයිරස ආසාදිතයන් ගණන 159 කි. ධවල මන්දිරය නිවේදනය කර ඇත්තේ ඇමෙරිකාවේ ජනපද 16 කට වයිරසය පැතිර ගොස් ඇති බවය.

මේ අතර ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය වයිරසය හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය. ජපානයේ ‘ඩයමන්ඞ් ප්‍රින්සෙස්’ නෞකාවේ සිට ආපසු ආ 71 ක් හැවිරිදි කාන්තාවක වයිසරය හේතුවෙන් මියගිය බව ද වාර්තා විය.

මෙම කාන්තාව ඇමෙරිකාවට ගෙන්වා ගැනීමෙන් පසු දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කෙරුණි. රෝග ලක්ෂණ පහළ වීමෙන් පසු කාන්තාව සැක්‍රමෙන්ටෝ රෝහලකට ඇතුළත් කෙරුණු බවත් ඇය රෝහලේ දී මියගිය බවත් ඇමෙරිකන් පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර තිබේ.

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මැඬලීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නව වැඩසටහනක් ආරම්භ කර තිබේ. ට්‍රම්ප්ගේ උපදෙස් පරිදි, එම වැඩසටහන මෙහෙයවන්නේ උප ජනාධිපති මයික් පෙන්ස් ය. ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මැඬලීමට ඇමෙරිකන් ඩොලර් බිලියන 2.5 ක මුදලක් අවශ්‍ය යැයි ජනාධිපති ට්‍රම්ප් ඇමෙරිකන් කොංග්‍රසයෙන් (පාර්ලිමේන්තුවෙන්) ඉල්ලා සිටියේ පසුගිය 24 වැනිදාය. වයිරසය මර්දනයට නව එන්නතක් සකස් කිරීමට පමණක් නොව, ඇමෙරිකාව තුළ වයිරසය ව්‍යාප්තවීම වැලැක්වීමට ද මුදල් අවශ්‍ය බව ට්‍රම්ප් කොංග්‍රස් මණ්ඩලයට පෙන්වා දුන්නේය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හරහා ඇමෙරිකන් ඩොලර් බිලියන 8.3 ක මුදලක් අනුමත වූයේ අනුවය.

මේ අතර පසුගිය දා ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් සහ ඇමෙරිකන් වසංගත රෝග නිවාරණ ඒකකයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනී ෆෝසී ඇතුළු ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයන් අතරේ හමුවක් පැවැත්විණි. එහිදී රැස්ව සිටි මාධ්‍යවේදීන්ට ට්‍රම්ප් කියා සිටියේ සති කීපයක් ඇතුළත වයිරසය අඩපණ කිරීමට ඔසුවක් නිර්මාණය වනු ඇති බවය. එම අවස්ථාවේදී වයිරසවේදියකු ද වන ඇන්තනී ෆෝසී, ට්‍රම්ප්ට බාධා කරමින් කියා සිටියේ ඔසුවක් නිපදවීමට තවත් වසරක කාලයක් ගත වනු ඇති බවය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS