වයිරසය විනාශ කරන මුහුණු ආවරණයක්



කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස ආසාදනය වීම වළක්වමින් වයිරස විෂබීජ විනාශ කළ හැකි ආකාරයේ නව මුහුණු ආවරණයක් හඳුන්වාදීමට ඇමෙරිකාවේ එම්.අයි.ටී. විද්‍යා ආයතනයේ විද්‍යාඥයෝ සමත් වී සිටිති.

ඇමෙරිකාවේ අති දක්ෂයන් බිහිකරන උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස මැසචුසෙට් හි පිහිටි එම්.අයි.ටී. සැලකෙයි. විද්‍යාඥයන් නිපදවනු ලැබූ මෙම නව මුහුණු ආවරණයට වායු පෙරණයක් කුඩා මෝටරයක් සම්බන්ධ කර ඇත. එය ක්‍රියාත්මක වන්නේ බැටරියෙනි. එය මුහුණු ආවරණය තුළ ඇති තඹ තහඩු ආවරණයකට සම්බන්ධ කර තිබේ.

මුහුණු ආවරණය පැලඳ සිටිද්දී, එය කොවිඩ් 19 වයිරස විෂබීජ නාසයට හෝ මුඛයට හෝ පැමිණීම වළක්වයි. මුහුණු ආවරණයෙන් තාපයක් නිකුත් කෙරෙන්නේ තඹ තහඩුව රත් කරමිණි. එවිට මුහුණු ආවරණයේ පිටත රැ‍ඳෙන වයිරස විෂබීජ විනාශ කර දැමෙයි.

‘මේක තවත් එක් මුහුණු ආවරණයක් නොවෙයි. මුහුණු ආවරණ වෙනස් කිරීමට අපගේ මුහුණු ආවරණයට හැකිවේවි. වයිරසයෙන් ආරක්ෂා වීමට නොබියව, ඉතා පහසුවෙන් පැලඳ සිටීමටත් හැකිවන අයුරින් තමයි මෙය නිර්මාණය කර තිබෙන්නේ.’ යැයි එම්.අයි.ටී. විද්‍යා ආයතනයේ මහාචාර්ය මයිකල් සැන්ට්‍රෝ මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, නව මුහුණු ආවරණය පිළිබඳ පුළුල් පැහැදිලි කිරීමක් කරමිණි.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයට තවමත් කිසිදු එන්නතක් නිපදවා ඇත. රුසියාවත් චීනයත් එන්නත් නිපදවා ඇති බව පැවැසුවත්, ඒවායේ සායනික අත්හදා බැලීම් තවමත් අවසන් වී නැත. එහෙයින්, වයිරසයෙන් ආරක්ෂාවීටම කළ යුතුව ඇත්තේ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම, දෑත් සොදා පිරිසුදු කර තබා ගැනීම, මුහුණ ස්පර්ශ කිරීමෙන් වැළැකී සිටීම සහ මුහුණු ආවරණ පැලඳීමය. වයිරස විෂබීජ සිරුරට ඇතුළු වන්නේ නාසයෙන්, මුඛයෙන් සහ ඇස්වලිනි.

බොස්ටන්හිදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS