වයිරසය පරදන්න එකමුතු වෙමු



කොරෝනා වයිරසය පරාජය කිරීම සඳහා සියලු රටවල් එක්විය යුතු යැයි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා ඉකුත්දා විශේෂ ඉල්ලීමක් කළේය.

සියලු රටවල් එක්ව විශේෂඥ දැනුම බෙදාගතයුතු අතර එන්නත් සොයා ගැනීම සඳහා රටවල් අතර අනවශ්‍ය තරගයක් ඇති නොකර ගත යුතු බවද බ්‍රිතාන්‍ය අගමැතිවරයා කීවේය.

කොරෝනා වයිරසයට අන්තර්ජාතික වශයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා ඉකුත්දා (4) පැවැති සමුළුවට සහභාගී වෙමින් හෙතෙම මේ අදහස් පළ කළේය.

සියලු රටවල් එක්ව විශේෂඥ දැනුම බෙදාගත් තරමට විද්‍යාඥයින්ගේ සාර්ථකත්වය ඉක්මන් වනු ඇති අතර සියලු දෙනා එකමුතුව හදිසි හා අත්‍යවශ්‍ය උත්සාහයක නිරත විය යුතු බවද බොරිස් ජොන්සන් මහතා කීවේය.

එන්නත් කිරීම්, පරීක්ෂා කිරීම් හා ප්‍රතිකාර උදෙසා බ්‍රිතාන්‍ය පවුම් මිලියන 388ක මූල්‍යාධාරයක් සැපයීමට සූදානම් බවද එම සමුළුවේදී බ්‍රිතාන්‍ය අගමැතිවරයා කීවේය.

කොරෝනා වසංගතය නිම කිරීමට හා ගෝලීය ආර්ථිකයට සහයෝගය දැක්වීම සඳහා බ්‍රිතාන්‍ය වෙන්කර ඇති පවුම් මිලියන 744න් කොටසක් එලෙස පරිත්‍යාග කරන බවද බොරිස් ජොන්සන් මහතා පැවසීය.

මීට අමතරව කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා බ්‍රිතාන්‍ය අංශ ගණනාවක් ඔස්සේ මූල්‍ය පරිත්‍යාග වෙන්කරදීමට අපේක්ෂා කරන බවද අගමැතිවරයා කීවේය.

මේ අතර වයිරසයට එන්නතක් සොයා ගැනීම සඳහා එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල ගණනාවක පර්යේෂණ ආරම්භ කර තිබෙන අතර, ඇතැම් ඒවා සාර්ථක වී ඇතැයි ද පැවසේ. සාර්ථකවූ එන්නත් මහාපරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට හා බෙදා හැරීමට සහයෝගය ඉල්ලමින් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනික විශ්වවිද්‍යාලයත් ඉකුත් අප්‍රේල් මස 30 වැනිදින නිවේදනයක් නිකුත් කර තිබිණ.

මේ අතර ඉකුත් 4 වැනිදා ආරම්භ වූ ගෝලීය එන්නත් සමුළුවේ සත්කාරක රට ලෙසද බ්‍රිතාන්‍ය කටයුතු කරයි.

ඡායාරූප ඒ.එෆ්.පී.  


RECOMMEND POSTS