වයිරස පොකුරක් මතුවෙලා

දින 50 කට පසු 'කොවිඩ්19' හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ පොකුරක් වාර්තා වීමත් සමඟ චීනයේ බීජීං අගනුවර පළාත් රැසක් වසා දැමීමට එරට සෞඛ්‍ය බලධාරීහු පියවර ගත්හ.
හමුවුණු ආසාදිතයන් ගණන 57 කි. 'කොවිඩ් 19' වයිරසය මෙසේ යළි හිස ඔසවා ඇත්තේ සින්ෆේ වෙළඳපොළ කේන්ද්‍රකොට ගනිමිනි.
ඒ අනුව, වෙළෙඳපොළ සීල් කෙරුණු අතර වෙළෙඳුන් සහ භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි 517 දෙනකු මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කර තිබේ.
එහිදී තවත් 'කොවිඩ් 19' ආසාදිතයන් 15 දෙනකු හමුවී ඇති නමුත් ඔහුන්ගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බව ද පැවැසෙයි. වෙළෙඳ පොළේ කාර්ය මණ්ඩලයට අයත් තවත් 10,000 දෙනා පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීමට නියමිතය.
ඒ අනුව, වෙළෙඳපොළට සම්බන්ධ සියලු දෙනාත්, වෙළෙඳපොළ අවට මහල් නිවාස සංකීර්ණන දෙකක පදිංචි සියලුම පදිංචිකරුවන් ද නිරෝධායනයට යොමු කර ඇතැයි ද පැවැසෙයි.
'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. මේ වනවිට වූහාන් නුවරින් වයිරසය පාලනය වී ඇති අතර කිසිදු නව රෝගියකු වාර්තා වන්නේ ද නැත.
බීජීංහිදීය (රොයිටර්)

