ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා නිරෝධායනයේ



ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී, ටෙඩ්‍රෝස් ගෙබ්‍රියේසිස් ද නිරෝධායනයට යොමු කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

55 හැවිරිදි ටෙඩ්‍රෝස් ඇඩ්නොම් ගෙබ්‍රියේසිස් නිරෝධායනයට යෙමු කරනු ලැබ ඇත්තේ, ඔහු කොරෝනා ආසාදිත තැනැත්තකු හමුවී ඇති බැවිනි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල් පුටුවට පත් වුණු ගෙබ්‍රියේසිස් අප්‍රිකාවට අයත් ඉතියෝපියානු රාජ්‍යයේ වැසියෙකි. ගෙබ්‍රියේසිස් ඉතියෝපියාවේ හිටපු විදෙස් අමාත්‍යවරයාය.

කොරෝනා ආසාදිතයකු හමුවුණු බැවින් තමන් නිරෝධායනයට ලක්වන බවත්, කෙසේ නමුත් තමන්ට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවත් ගෙබ්‍රියේසිස් ට්විටර් පණිවුඩයකින් පවසා ඇත.

අද (2) වනවිට ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 46 පසු කළ අතර, මරණ වාර්තා වන්නේ මිලියන 1.2 ක් ලෙසිණි. මේ වනවිට ඇමෙරිකාවේත්, සෙසු යුරෝපා රටවලත් යළිත් වරක් කොරෝනා ආසාදිතයන් හමුවීමට පටන්ගෙන තිබේ. ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය සහ ජර්මනිය ලොක්ඩවුන් තහංචි පනවා ඇති බවත්, ඉතාලිය සහ ස්පාඤ්ඤය ඇඳිරි නීති තහංචි පනවා ඇති බවත් වාර්තා වේ.

ජිනීවා නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS