ලෝක යුද්ධයකට මුලපුරාවි



ආමේනියාව සහ අසර්බයිජානය අතර හටගත් යුද්ධය, ලෝක යුද්ධයක් තෙක් දුරදිග යන ලකුණු පෙනෙන්න ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඊට හේතුව වී ඇත්තේ දින කීපයක් තිස්සේ ඔඩුදුවමින් පවතින ගැටුමට රුසියාව, තුර්කිය, ප්‍රංශය, ජර්මනිය ඉරානය ආදී අසල්වැසි කලාපීය රයවල් කීපයක් මැදිහත් වී, ආමේනියාවට සහ අසර්බයිජානයට වෙන් වෙන්ව සහාය පළ කිරීමය.

පසුගිය සති අන්තයේ ආරමහ්භ වුණු ගැටුම් වහා නවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ආමේනියාවෙන් සහ අසර්බයිජානයෙන් ඉල්ලීමක් කළත් රටවල් දෙකම ඊට කන් දීමක් කර නැත.

අවි ගැටුම් පවතින්නේ දීර්ග කාලයක් තිස්සේ දෙරටම අයිතිවාසිකම් කියන නගොර්නෝ කරබාක් ප්‍රදේශය මුල්කොට ගනිමිනි. මෙම ප්‍රදේශය අයත් වන්නේ අසර්බයිජානයට වුවත්, මෙහි ජීවත් වන වැඩි දෙනා ආමේනියානු වාර්ගික ජනතකාවය.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටටින් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රෝන් අද (1) ආමේනියාවටත් අසර්බයිජානයටත් දැඩිව කියා සිටියේ ගැටුම් වහා නවත්වා සටන් විරාමයක් ආරම්භ කරන ලෙසය. ඊට අමතරව, ආමේනියාවත් අසර්බයිජානයත් අතර සාමය ස්ථාපිත කිරීමට මැදිහත් වෙන්නැයි රුසියන් ජනාධිපති තුර්කි රජයට දන්වා ඇත. තුර්කියේ සහාය හිමිවන්නේ අසර්බයිජාන රජයට හා හමුදාවටය.

ආමේනියාව සහ අසර්බයිජානය යනු අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් රටවල්ය. වර්තමානයේ රුසියාවේ හමුදා සහාය හිමිවන්නේ ආමේනියාවටය. රුසියාවේ අති නවීන හමුදා අවි ආයුධ ආමේනියානු හමුදාව සතුව පවතී. අසර්බයිජානයේ තුර්කි බස කතා කරන බොහෝ දෙනක් වෙසෙති. ඔවුන්ට තුර්කියේ සහාය නොඅඩුව හිමිවෙයි. ආමේනියාව චෝදනා කරන්නේ අසර්බයිජානය තුර්කියේ උපදෙස් මත තමන්ට පහර දෙන බවටය.

ආමේනියානු සහ අසර්බයිජාන හමුදා එකිනෙකාට රොකට් සහ ෂෙල්වෙඩි ප්‍රහාර එල්ල කරගන්නා බවත්, අද (1) වනවිට එම ප්‍රහාරවලින් හමුදා සොල්දාදුවන් 84 දෙනෙකු මියගිය බව පැවැසිණි. ප්‍රහාරවලින් මියගිය සිවිල් වැසියන් ගණන 11 කි. ඒ අනුව දෙරටින් වාර්තා වන සමස්ත මරණ 95 ක් යැයි පැවැසෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්)


RECOMMEND POSTS