ලෝක නායකයෝ ට්‍රම්ප්ට සුබ පතති



ඇමෙරිකන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම්  හිමිවිය. ට්‍රම්ප්ට පළමුවෙන් සුබ පැතුවේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුය. 

ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස පිළිගනිමින්, ඇමෙරිකන් තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කළේ ට්‍රම්ප්ය. ඒ, ඔහු පළමු වරට ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කරද්දීය. 

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට පමණක් නොව, ඉරානයට එරෙහිව ද ගෙන යන සටනට තමන් සහාය දක්වන බව ජනාධිපතිවරණයට පෙර සිට ට්‍රම්ප් අවධාරණය කර තිබුණි. මෙය ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ සතුටට හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි.

තමන් ජනාධිපති වූ සැණින්, පැය 24 ක් ඇතුළත යුක්රේන යුද්ධයට මැදිහත් වී එය අවසන් කරන බවට ට්‍රම්ප් ප්‍රතිඥා දී ඇත. ඇමෙරිකාව යුක්රේනයට ලබා දෙන ආධාර නවත්වන බවට ට්‍රම්ප් තර්ජනය කර ඇත. ට්‍රම්ප්ගේ මෙම තර්ජනය, පසුගිය කාලයේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලේන්ස්කීගේ අප්‍රසාදයට හේතුවක් විය.

එසේ වුවත්, ට්‍රම්ප් ජනාධිපතිවරණය ජය ගැනීමත් සමඟ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ට්‍රම්ප්ට සුබ පැතුවේය. ඒ, සිය එක්ස් ගිණුම ඔස්සේය. මේ අතර, ට්‍රම්ප්, ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් රුසියාව පවසා ඇත්තේ, ඇමෙරිකාව, සතුරු රාජ්‍යයක් බවට පත් වුණු බවත්, ට්‍රම්ප් පරිපාලනය එය වෙනස් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්ය.

කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී, ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී ද ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ට්‍රම්ප්ට සුබ පතමින් මැදපෙරදිග අර්බුද අවසන් කිරීමට ට්‍රම්ප් මැදිහත් විය යුතු බව අවධාරණය කර ඇත. ඉරානය ද ට්‍රම්ප්ට සුබ පතමින් පෙන්වා දී ඇත්තේ, ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය තමන්ට අදාල නොවන බවය. 

ගාසා තීරයේ හමාස් සංවිධානය ට්‍රම්ප්ට සුබ පතමින් නව ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉල්ලා ඇත්තේ, පලස්තීන වැසියන්ට ජීවත් වීමට ඇති අයිතිය සුරැකීමට කටයුතු කරන ලෙසය. 

පලස්තීන අධිකාරිය ද ට්‍රම්ප්ට සුබ පතමින් පවසා ඇත්තේ පලස්තීන වැසියන් වෙනුවෙන් පෙනී සිටින ලෙසය. ඇෆ්ගන් තලේබාන් රජය ද ට්‍රම්ප්ට සුබ පැතුම් එක් කර තිබේ.

ට්‍රම්ප්, ඇමෙරිකා ජනාධිති ධුර හොබවද්දී, චීනය සමඟ වෙළෙඳ යුද්ධයකට මැදි වී සිටියේය. ට්‍රම්ප් චීනයට දිගට හරහට තීරු බදු පැනැවූ අතර, චීනය ද පෙරළා ඇමෙරිකාවට තීරු බදු පැනැවීය. ට්‍රම්ප් යළි ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ චීන ජනාධිපති ෂී ජින්පින් ද යළි ජනාධිපති ධුරයට තේරී පත්වුණු ට්‍රම්ප්ට සුබ පැතුවේය. 

ඉන්දියාව, උස්බෙක්සික්තානය, කසක්ස්තානය, පිලිපීනය, පැනමා රාජ්‍යය, කාම්බෝජය, එල් සැල්වදෝරය, රොමේනියාව, චන් ජනරජය, ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ඔස්ට්‍රියාව, නෙදර්ලන්තය, රුවන්ඩාව, කෙන්යාව, ඉතියෝපියාව, නයිජීරියාව, දකුණු අප්‍රිකාව, ඉතාලිය, පාකිස්තානය, ජර්මනිය, ස්පාඤ්ඤය, ජපානය, ජෝර්දානය, සෞදි අරාබිය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, තුර්කිය, ප්‍රංශය, හංගේරියාව, බ්‍රසීලය, වෙනිසියුලාව, ආජන්ටිනාව, මෙක්සිකෝව, කැනඩාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය, නේටෝ රාජ්‍යය, එක්සත් රාජධානිය ද ට්‍රම්ප්ට සුබ පැතූ බව විදෙස් මාධ්‍ය පැවැසීය.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS