ලොස් ඇන්ජලීස් ළැව් ගිනි දරුණුයි



ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන ළැව් ගිනි හේතුවෙන් ඊයේ (9) වනවිට අක්කර 28,000 ක් විනාශ වී ඇති බවත්, ලොස් ඇන්ජලීස් නුවර වාතයේ ගුණාත්මකභාවය ඉතා දරුණු අයුරින්, පහළ වැටී ඇතැයි ද වාර්තා වේ. ළැව් ගිනිවලට බිලිවූවන් ගණන 5 කි.

මේ වනවිට දරුණු ළැව් ගිනි 6 ක් ලොස් ඇන්ජලීස් නගරයේ ස්ථාන කීපයක ව්‍යාප්ත වන බව ගිනි නිවන භටයෝ පවසති. ලිඩියා, කීනිත්, පැරඩයිස්, ඊටන් සහ හර්ස්ට් යන නම් වලින් ඒවා හැඳින්වෙයි. ළැව් ගිනි හේතුවෙන් ලොස් ඇන්ජලීස් නුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු ගණන 138,000 කි.

ඇමෙරිකාවේ දෙවැනි විශාලතම නගරය ද වන ලොස් ඇන්ජලීස් නුවර මුහුණ දෙන ඉතිහාසයේ දරුණුතම ළැව් ගිනි තත්ත්වය මෙය බව ද පැවැසෙයි. ලොස් ඇන්ජලීස් යනු හොලවුඩ් පුරයේ කේන්ද්‍රස්ථානයයි. සුපිරි හොලිවුඩ් තරු රැසකට අයත් නිවාස සහ මන්දිර මේ වනවිට ළැව් ගිනිවලට හසුවීමෙන් විනාශ වී ඇත.

ලොස් ඇන්ජලීස් ළැව් ගිනි හේතුවෙන්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පමණක් නොව, උප ජනාධිපතිනී කමලා හැරිස් ද ඔවුන්ගේ විදෙස් සංචාර අවලංගු කර ඇත. බයිඩන් මෙන්ම, හැරිස් ද ලබන ජනවරි 20 වැනිදා ඔවුන්ගේ ධුරවලට සමුදීමට නියමිතය.

ඒ, නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙන බැවිනි. බයිඩන් සිය අවසන් විදෙස් සංචාරය ලෙස රෝමයටත් වතිකානයටත් යෑමට සූදානමින් සිටියේය. කමලා හැරිස් සිය අවසන් විදෙස් සංචාරය ලෙස තෝරාගෙන තිබුණේ සිංගප්පූරුව, බහරේනය සහ ජර්මනියයි.


RECOMMEND POSTS