ලොව ළාබාලතම අගමැතිනිය සන්නා මරීන් පරදී

ෆින්ලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන්, අග්‍රාමාත්‍ය සන්නා මරීන් සහ ඇගේ ප්රජාතන්ත්රවාදී පක්ෂය පරාජයට පත් විය. ෆින්ලන්තයේ පමණක් නොව, ලෝකයේ ද ළාබාලතම අග්‍රාමාත්‍යවරිය ලෙස ද සැලකෙන්නේ සන්නා මරීන් ය.
මැතිවරණය ජයගත්තේ විපක්ෂ නායක පෙට්රියෝ ඕර්පෝගේ ජාතික සන්ධානයයි. අගමැතිනී සන්නා මරින්ට, පෙට්රියෝ ඕර්පෝගේ ජාතික සන්ධානයෙන් පමණක් නොව, දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම වන ‘ෆින්ස්’ පක්ෂයෙන් ද අභියෝග එල්ල විය. ‘ෆින්ස්’ පක්ෂයට නායකත්වය දෙන්නේ රික්කා පූරාය.
මැතිවරණය ඉතාමත් තියුණු ස්වරූපයක් ගත් බව පැවැසෙයි. ඕර්පෝගේ ජාතික සන්ධානය සියයට 20.8 ක ප්‍රතිශතියක් ද ‘ෆින්ස්’ පක්ෂය සියයට 20.1 ඡන්ද ප්‍රතිශතයක් ද දිනා ගත්තේය. සන්නා මරීන්ගේ ප්රජාතන්ත්රවාදී පක්ෂය දිනා ගැනීමට සමත් වූයේ සියයට 19.9 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. ෆින්ලන්ත පාර්ලිමේන්තුව ආසන 200 කින් සමන්විතය.
සන්නා මරීන් අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2019 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙනි. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 34 කි. ඇය ලොව ළාබාලතම අග්‍රාමාත්‍යවරිය බවට පත් වූයේ ඒ අනුවය. එම අවස්ථාවේදී සන්නා මරීන් සහ ඇගේ ප්රජාතන්ත්රවාදී පක්ෂය රජයක් පිහිටුවා ගත්තේ තවත් පක්ෂ 6 ක් හවුල් කර ගනිමිනි.
‘කොවිඩ් 19’ වසංගතය හමුවේ රට ස්ථාවරව පවත්වාගෙන යෑමට මරීන් ප්රමුඛ රජය සමත් විය. රාත්‍රී සමාජ ශාලාවල විනෝද වෙමින් මදුවිත තොල ගාමින් එම ඡායාරූප සහ වීඩියෝ දසුන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළේ යැයි ද මරීන්ට පසුගිය වසරේ චෝදනා එල්ල විය.
ෆින්ලන්තය ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලා සිටී. ‘නේටෝ’ සංවිධානයේ අනුමැතිය ද ඊට හිමිවී ඇත. ෆින්ලන්තය රුසියාවට මායිම් වෙයි. ෆින්ලන්තය නේටෝ සාමාජිකත්වය ඉල්ලා සිටියේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ බැවිනි.
ෆින්ලන්තය පෙන්වා දී ඇත්තේ රුසියාව තමන්ට ද තර්ජනයක් බවය. උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ යනු ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් එක් වී, රුසියාවෙන් එල්ල වන තර්ජනවලට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි.
(රොයිටර්)

