ලාඕසයේ වේල්ලක් පිපිරේ

ඇද හැලෙමින් තිබුණු අධික වර්ෂාව මධ්‍යයේ, ලාඕසයේ ඉදිකරමින් පැවැති වේල්ලක් හිටිහැටියේ පුපුරා යෑමෙන්, සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
පුපුරා කැඩී ගියේ නැගෙනහිර ලාඕසයේ සෙපියැන් සේ නාම් නමැති වේල්ලය. ජල විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමේ අරමුණින්, මෙම වේල්ල 2013 වසරේ සිට අදියර කිහිපයක් යටතේ ඉදිවෙමින් පැවැතිණි.
වේල්ල සහ ජල විදුලි බලාගාරය මෙම වසර අවසානයේ විවෘත කිරීමට නියමිතව තිබුණු බව ද පැවැසෙයි.
වේල්ල හිටිහැටියේ පුපුරා යෑමත් සමඟ නිකුත් වූ මහා ජලකඳ හේතුවෙන් පළාත් රැසක් මුළුමනින්ම යටවුණු බවත් වගාබිම් සිය ගණනක් විනාශ වුණු බවත් වාර්තා වේ. ජලයෙන් යටවුණු ගම්මාන ගණන 6 කි. නිවාස අහිමිවුණු පිරිස 6,000 කට වැඩි යැයි ද පැවැසෙයි.
ලාඕස හමුදාව ක්‍රියාත්මක වී, බෝට්ටු ආධාරයෙන් ජල පහරට කොටුවුණු පිරිස් බේරා ගැනීමට කටයුතු කළේය.
වේල්ල හිටිහැටියේ ඉරිතලා පුපුරා කැඩී ගියේ කෙසේදැයි යන්න මෙතෙක් පැහැදිලි නොමැති බවත්, ඒ ගැන පරීක්ෂණයක් පවත්වන බවත් ලාඕස රජය කියයි.
ලාඕසය යනු අග්නිදිග ආසියාවට අයත් කුඩා රාජ්‍යයකි. මියන්මාරය, තායිලන්තය සහ වියට්නාමය ඊට මායිම් වෙයි. වේල්ල කැඩී යෑම දැනගත් සැණින්, ලාඕස අගමැති තොංග්ලුවාන් සිසොලියුත්, විපතට පත්වූවන් ගැන සොයා බැලීමට අටාපෝ පළාතේ සංචාරය කළ බව ද වාර්තා විය.
(රොයිටර්)

