ලාංකිකයෝ දෙදෙනෙක් අතුරුදන්



ඊශ‍්‍රායල සහ පලස්තීනය අතර ඇති වී තිබෙන දරුණු ගැටුම් හේතුවෙන් මේ වන විට ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනකු අතුරුදන් වී එක් ශ‍්‍රී ලාංකිකයකු තුවාල ලබා තිබෙන බව ඊශ‍්‍රායලයේ ශ‍්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා මහතා ප‍්‍රකාශ කළේය.

මේ වන විට අතුරුදන් වී සිටින ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු පිරිමි පුද්ගලයෙකු බවත් අනෙකා කාන්තවක් බවත් ශ‍්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.එසේම තුවාල ලැබූ තැනැත්තා පිරිමි පුද්ගලයෙකු බවද බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.

ගැටුම් හේතුවෙන් අතුරුදන් වී සිටින කාන්තාව ගම්පහ ප‍්‍රදේශයේ පදිංචිව සිට සාත්තු සේවය සඳහා ඊශ‍්‍රායලයට ගොස් ඇති  කාන්තාවක් බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග පැවසුවේය.

අතුරුදන් වී සිටින පිරිමි පුද්ගලයා ශ‍්‍රී ලංකාවේ වෙන්නප්පුව ප‍්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි  පුද්ගලයෙකු බවත් ඔහු කෘෂි කර්මාන්තය ආශ‍්‍රිත රැකියාවක් සඳහා ඊශ‍්‍රායලයට ගොස් ඇති බවත් විදේශ කටයුතු ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේය.

එසේම ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ තැනැත්තා 38 හැවිරිදි සුජිත් ප‍්‍රියංකර නම් පුද්ගලයෙකු බවත් ඔහු කැකිරාව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් විදේශ කටයුතු ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.

ඊශ‍්‍රායලයේ දැනට ශ‍්‍රී ලාංකිකයන් 8000 ක් පමණ සිටින බවත් ශ‍්‍රී ලාංකිකයන් බොහොමයක් ඊශ‍්‍රායාලයට පැමිණෙන්නේ සාත්තු සේවය සහ කෘෂි කර්මාන්තය පදනම් කරගත් රැුකියා වලට බවත් තානාපති නිමල් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.

මේ වනවිට තොරතුරක් නොමැති ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනා පිළිබඳ තොරතුරක් දැනගැනීම සඳහා ඔවුන්ගේ තොරතුරු රතු කුරුස සංවිධානය වෙත ලබා දුන් බව තානාපති නිමල් බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.

එසේම තුවාල ලැබූ තැනැත්තා දකණු ඊශ‍්‍රායලයේ සංචාරක හෝටලයක සේවය කළ අයෙකු බවත් ඔහුගේ අතට සහ බඩට වෙඩි වැදී ඇති බවත් තානාපතිවරයා පැවසුවේය.

වෙඩි වැදීමෙන් පසුව ඔහුව වහාම රෝහල් ගත කළ බවත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් තානාපතිවරයා පෙන්වා දුන්නේය.

සතියක පමණ කාලයක් විවේක ගැනීමෙන් පසුව ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරෙනු ඇතැයි විශ්වාස කරන බවද තානාපතිවරයා ප‍්‍රකාශ කළේය.

ඊශ‍්‍රායලයේ සිටින අනිකුත් ශ‍්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳවද ඊශ‍්‍රායලයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තර අවධානයෙන් පසුවන බවද තානාපති නිමල් බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.


RECOMMEND POSTS