ලතින් ඇමෙරිකා නායකයෝ ඇමසන් රැකගන්න පෙළ ගැසෙති



පෘථිවියේ ජීව නාලිය ලෙස සැලකෙන ඇමසන් වැසි වනාන්තරය ආරක්ෂා කර ගැනීමේ අරමුණින්, ලතින් ඇමෙරිකා රටවල රාජ්‍ය නායකයන්ගේ ප්‍රධානත්වයෙන්, විශේෂ සමුළුවක් කොලොම්බියාවේ පැවැත්වුණු අතර, වනාන්තරය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් එහිදී පොදු එකඟතාවක් ඇති කර ගැනුණි.

ඇමසන් වැසි වනාන්තරය පිහිටා ඇත්තේ ලතින් ඇමෙරිකාව හෙවත් දකුණු ඇමෙරිකාවේය. ලොව විශාලතම වැසි වනාන්තරය වන්නේ ඇමසන්ය. ඇමසන් වනාන්තරයේ හටගන්නා ළැව් ගිනි  තවමත් අවසන් වී නැත.

ළැව් ගිනි පැතිරෙන්නේ, බ්‍රසීලයට අයත් ඇමසන් වනාන්තරයේය. ඇමසන් වනාන්තරයෙන් වැඩි ප්‍රමාණයක් අයිති බ්‍රසීලයටය. එය සියයට 60 ක ප්‍රමාණයකි. මේ වසරේ පමණක් ඇමසන් වැසි වනාන්තරයේ හටගත් ළැව්ගිනි ප්‍රමාණය 80,000 ඉක්මවයි.

බ්‍රසීලයට අයත් ඇමසන් වැසි වනාන්තරයේ ළැව් ගිනි අන් කවරදාටත් වඩා වැඩි වී ඇත්තේ බ්‍රසීල ජනපති ජාර් බොල්සරානෝගේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා යැයි චෝදනා එල්ල වෙයි.

පරිසරවේදීන් ජනාධිපතිවරයාට චෝදනා කරමින් පවසා ඇත්තේ ආයෝජන වැඩිකර ගැනීමේ අරමුණඅ ඇතිව, හිතුමතේ පෞද්ගලික සමාගම්වලට ඇමසන් වැසි වනාන්තරය හෙළි පෙහෙළි කිරීමට ජනපතිවරයා අවසර දී ඇති බවය.

කොලොම්බියාවේ ආරම්භ වූ ඇමසන් සුරැකීමේ සමුළුවේදී වනාන්තර හෙළිපෙහෙළි කිරීම, වගා සඳහා වනාන්තරය ගිනි තැබීම, රත්තරන් පතල් කැණීම් අඩු කිරීම ආදී වශයෙන් වනාන්තරය ආරක්ෂා කිරීමට නව නීති සකස් කෙරුණි.

සමුළුවට එක් වුණු බොලීවියා, බ්‍රසීල් කොලොම්බියා, එක්වදෝර්, ගයානා, පේරු සහ සුරිමේන් යන රටවල රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් ඇමසන් ආරක්ෂා කර ගැනීමේ එකඟතා ගිවිසුමට අත්සන් කළේය. ඇමසන් වනාන්තරයේ සිදුවන විනාශය ගැන විමසිලිමත් වීමට විශේෂ චන්ද්‍රිකා නිරීක්ෂණ පද්ධතියක් ද ස්ථාපිත කිරීමට තීරණය කෙරුණි.

ඇමසන් වනාන්තරය ආරක්ෂා කර ගැනීමේ සමුළුවට බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ සහභාගී වූයේ නැත. ඒ ඔහු හර්නියා සැත්කමකට භාජන වීම සඳහා රෝහල් ගතකර සිටින බැවිනි.

කෙසේ නමුත් කොලොම්බියා ජනාධිපති ඉවාන් ඩුකේගේ ප්‍රධානත්වයෙන් කොලොම්බියාවේ ලෙටිසියා නුවර පැවැත් වුණු සමුළුවට රෝහලේ සිටින බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ සහභාගී වූයේ වීඩියෝ පණිවුඩ හුවමාරුවක් ඔස්සේය.

බොගෝටාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS