රොකට් ප‍්‍රහාර දෙකක්



ඇෆ්ගනිස්තානයේ තලේබාන් ත‍්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයෙන් මුදා ගත් ඝාස්නී නගරයේ සංචාරයකට ගොස් සිටිද්දී, ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී ඉලක්ක කර ගනිමින් රොකට් ප‍්‍රහාර දෙකක් එල්ල විය.

රොකට් ප‍්‍රහාරවලින් අගමැතිවරයාට හෝ ඔහු සමඟ සිටි සෙසු නිලධාරීන්ට හෝ ජනපති ආරක්ෂක අංශයේ නිලධාරීන්ට හෝ අනතුරක් නොවිණි. ඇෆ්ගන් ජනපතිගේ බිරිඳ ද මෙම සංචාරයට එක් වූවාය. ඇෆ්ගන් රජයේ හමුදා විසින් මුදා ගනු ලැබූ ඝාස්නී නගරයේ සිවිල් වැසියන්ගේ සුවදුක් විමසා බැලීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ විය.

ජනාධිපතිවරයා නගර බලධාරීන් සහ ප‍්‍රාන්ත බලධාරීන් හමුවී සාකච්ඡුා පවත්වද්දී රොකට් ප‍්‍රහාර දෙක එල්ල විය. රොකට් ප‍්‍රහාර එල්ල වූයේ ජනාධිපතිවරයා සිටි ගොඩනැගිල්ලට මීටර් 300 ක් දුරින් ස්ථානයකටය. රොකට් ප‍්‍රහාරයත් සමඟ ජනාධිපති අෂ්රාෆ් ඝානී, බිරිඳ සහ සෙසු නිලධාරීන් වහා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බව ද පැවැසෙයි.

ඝාස්නී නගරය මුදා ගැනීම සඳහා දින පහක් තිස්සේ දරුණු අවි ගැටුම් පැවැතිණි. එම ගැටුම්වලින් සිවිල් වැසියන් ගණන 200 ක්, ඇෆ්ගන් රජයේ හමුදා සොල්දාදුවන් 100 ක් මියගියේ යැයි වාර්තා විය. මරා දැමුණු තලේබාන් ත‍්‍රස්තයන්ගේ ගණන 150 කට වැඩිය. ඇෆ්ගන් රජයේ හමුදා සහ තලේබාන් ත‍්‍රස්තවාදීන් වීදි බැස වෙඩි හුවමාරු සිදු කරද්දී, නගර වැසියන් බොහොමයක් ඔවුන්ගේ නිවෙස්වලට කොටුවී සිටි බව ද වාර්තා විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS