රුසියාවට පහර දෙන්න බයිඩන්ගෙන් අවසර
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, රුසියාවට ප්‍රහාර දීමට තමන් යුක්රේනයට අවසර දෙන බව ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
ඇමෙරිකාව, යුක්රේනයට දිගු දුර මිසයිල ලබා දී ඇත්තේ, රුසියාවෙන් යුක්රේනයට ප්‍රහාර එල්ල වෙද්දී ඒවායින් ආරක්ෂාවීමටය. එසේ වුවත්, ඒවා භාවිතයට ගනිමින් රුසියාව තුළ ඉලක්කවලට පහර දෙන්නැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මීට පෙර කිසිම අවස්ථාවක, යුක්රේනයට අවසර දී තිබුණේ නැත.
රුසියාවට පහර දෙන්නැයි බයිඩන්ගෙන් අවසර හිමිවුණු බව අනාවරණය කළේ රොයිටර්ස්, නිව්යෝක් ටයිම්ස් සහ ඇසෝසියේටඩ් ප්‍රෙස් වන ලොව ප්රමුඛ පුවත් සේවාය. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය කිසිවක් තහවුරු කර නැතැයි ද පැවැසෙයි.
රුසියන් යුක්රේන යුද්ධයේ දී, ඇමෙරිකාවේත්, සෙසු ‘නේටෝ’ සාමාජික රටවල සහායත් හිමිවන්නේ යුක්රේනයටය. ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් පිහිටුවා ගනු ලැබ ඇත්තේ රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමටය. රුසියාවත් යුක්රේනයත් අතරේ යුද්ධයක් හටගත්තේ, රුසියාවේ අසල්වැසියා වන යුක්රේනය නේටෝ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි. යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවීම, රුසියාවේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් වනු ඇත. රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ ඒ අනුවය.
මේ අතර, රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, එය ලබන නව වසරේ සිදුවනු ඇති බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ පවසා ඇත. ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, තමන් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් සැණින්, පැය 24 ක් ඇතුළත රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බවය.
පසුගිය නොවැම්බර් 5 වැනිදා පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් යළි ජයග්‍රහණය කළ අවස්ථාවේ, තමන් ට්‍රම්ප්ට සුබ පතමින් ඇමතුමක් දුන් බවත්, එහිදී ට්‍රම්ප්, රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීම සම්බන්ධයෙන් තමන් සමඟ සාකච්ඡා කළ බවත් සෙලෙන්ස්කී පෙන්වා දී ඇත.
‘යුක්රේනයට අවාසි වෙන විදියේ හෝ යුක්රේනයට අසාධාරණයක් වන විදියේ තීන්දු තීරණ ට්‍රම්ප් ගන්නේ නැහැ. ඒ බව විශ්වාසයි. රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප් යුක්රේනයට අවාසි වන ආකාරයේ කිසිවක් මෙතෙක් පවසා නැහැ’ යැයි සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පෙන්වා දී ඇත.