රුසියාවට එරෙහිව ඡන්දය දීම ප්රතික්ෂේප කරයි
ඉන්දියාව යළිත් වරක් රුසියාවට එරෙහිව ගෙනා යෝජනාවකට ඡන්දය දීමෙන් වැළැකී සිටියේ ය. රුසියාව, යුක්රේනය ආක්රමණය කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයටත්, එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියටත් යෝජනා කිහිපයක් ගෙනා අතර ඒවා බොහෝමයක් රුසියාවට එරෙහි යෝජනා ය.
ඉකුත් දින දෙකේ දී ද යෝජනා තුනක් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියට ඉදිරිපත් වූ අතර ඉන්දියාව එම යෝජනා තුනේදී ම ඡන්දය දීමෙන් වැළැකී සිටියේ ය. ඉන්දියාවට අමතරව චීනය, පාකිස්තානය ඇතුළු රටවල් 35ක් නව යෝජනාවට ඡන්දය දීමෙන් වැළැකී සිටියේ ය.
රුසියාව, යුක්රේනය ආක්රමණය කිරීමත් සමඟ මානුෂීය අර්බුදයක් ඇති වී තිබෙන බව සඳහන් කරමින් අදාළ නව යෝජනාව ඉදිරිපත් වී තිබිණි. රුසියානු - යුක්රේන අර්බුදය හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තුළත් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය තුළත් යම් ආකාරයක බෙදීමක් නිර්මාණය වී තිබේ.
ඇමෙරිකානු කඳවුර සහ රුසියානු කඳවුර ලෙස එය පැහැදිලිව හඳුනාගත හැකි අතර බොහෝ රටවල් මෙහිදි මැද පිළිවෙතක් අනුගමනය කරන ආකාරය දක්නට ලැබේ.
මෙම අර්බුදය සම්බන්ධයෙන් රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කළ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රටවල් 13ක් ඊට ඡන්දය දීමෙන් වැළැකී සිටියේ ය. ඉන්දියාව ද ඒ අතර විය.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියට අලුතෙන් ඉදිරිපත් වූ යෝජනාව කෙටුම්පත් කර තිබුණේ ප්රංශය සහ මෙක්සිකෝව යි. යුක්රේනය විසින් එය ඉදිරිපත් කරනු ලැබිණි.
ඊට පක්ෂව රටවල් 140ක් ඡන්දය ප්රකාශ කළ අතර රටවල් පහක් ඊට විරුද්ධව ඡන්දය ප්රකාශ කළේ ය. රුසියාවේ ක්රියා හෙළා දකිමින් මීට පෙර එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියට යෝජනාවක් ඉදිරිපත් වූ අතර ඊට පක්ෂව ඡන්ද 141ක් ලැබිණි. ඉන්දියාව ඇතුළු රටවල් 35ක් ඊට ඡන්දය දීමෙන් වැළැකී සිටියේ ය.
(රොයිටර්)

