රුසියාවට අයිති වෙන්න දෙන්නේ නෑ



රුසියාවට මායිම්ව පිහිටි යුක්රේනයේ නැගෙනහිර පළාත් රුසියාවට අයිති වීමට කිසිසේත් ඉඩ නොදෙන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.

නැගෙනහිර යුක්රේනයේ රුසියාවට මායිම්ව පිහිටා ඇති පළාත ඩොන්බාස් යනුවෙන් හැඳින්වෙන අතර, ලූහාන්ස්ක් සහ ඩොනෙක්ස් යන නගර අයත් ප්‍රදේශ පිහිටා ඇත්තේ ද මෙම ඩොන්බාස් පළාතේය.

ලූහාන්ස්ක් සහ ඩොනෙක්ස් රුසියානු හිතවාදී යුක්රේන බෙදුම්වාදීන්ගේ ග්‍රහණයේ පවතින නගර සහ පළාත් දෙකකි. එම බෙදුම්වාදීන් ලූහාන්ස්ක් සහ ඩොනෙක්ස් වෙනුවෙන් වෙනම පාලනයක් ද ඉල්ලා තිබේ. රුසියාව පවසා ඇත්තේ, තමන් ලූහාන්ස්ක් සහ ඩොනෙක්ස් පළාත් වෙනම රාජ්‍ය ලෙස පිළිගන්නා බවය.

රුසියාවට හිතවත් සිරියාව, වෙනිසියුලාව, නිකර්ගුවා සහ කියුබාව ආදී රටවල් ද ලූහාන්ස්ක් සහ ඩොනෙක්ස් යුක්රේනයෙන් වෙන්වූ වෙනම රාජ්‍යයන් ලෙස පිළිගන්නා බව පවසා ඇත.

ලූහාන්ස්ක් සහ ඩොනෙක්ස් ප්‍රාන්තවල බෙදුම්වාදී නායකයන් පවසා ඇත්තේ ඉදිරියේදී රුසියාව සමඟ නිල වශයෙන් එක්වීම සම්බන්ධයෙන් ජනමත විමසුමක් පවත්වන බවය.

මේ අතර, යුක්රේනයේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට ඇරැයුම් කර තිබේ.

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. ඊට අමතරව, ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටය පැවැත්වෙන බැවින් ප්‍රංශ ජනපති මැක්රොන් ද කාර්යබහුල යැයි යුක්රේනයට පවසා තිබේ.

රුසියන් යුක්රේන අර්බුදයේ දී ඇමෙරිකාව මෙන්ම  ප්‍රංශය ද යුක්රේනයට අවි ආයුධ ලබා දෙමින් මූල්‍ය ආධාර ලබා දෙමින් සහාය පළ කරයි. දිගටම අවි ආයුධ ලබා දෙමින් යුක්රේන හමුදා ශක්තිමත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥා දී තිබේ.

මීට අමතරව, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අයි.එම්.එෆ්. හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජිවා සමඟ සාකච්ඡා ක් පැවැත්වුණු බව බටහිර මාධ්‍ය ඊයේ (18) වාර්තා කළේය.

රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේනය මුහුණ දෙන ආර්ථික අර්බුද සම්බන්ධයෙන් සහ යුද ගැටුම් අවසන් වීමෙන් පසු රට යළි ගොඩනැගීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපතිවරයා සහ අයි.එම්.එෆ්. ප්‍රධානියා අතරේ සාකච්ඡා පැවැත්විණි.

කඩා වැටුණු ජන ජීවිතය යළි ගොඩනැගීමට අයි.එම්.එෆ්. සහාය අවශ්‍ය බවත් අයි.එම්.එෆ්. සහාය නොමැතිව යුක්රේනයට යළි නැගිටිය නොහැකි බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අවධාරණය කළේය. මෙම හමුව පැවැත්වූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

දිගින් දිගටම යුක්රේනයට අවි ආයුධ ලබා දීමෙන් වළකින්නැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඇමෙරිකාවට අනතුරු අඟවා තිබේ.  යුක්රේනයට පැමිණ යුක්රේන රජයට සහාය දක්වන්නැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ඇමෙරිකා ජනාධිපති බයිඩන්ට ඇරැයුම් කිරීම සම්බන්ධයෙන් ද රුසියාව සිය කනස්සල්ල පළ කර තිබේ.

යුක්රේනයට තවදුරටත් අවිආයුධ සහ යුද ආධාර ලබාදීමෙන් අනිසි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇතැයි රුසියාව ඇමෙරිකාවට දන්වා ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ලිපියක් යවමිණි. ඇමෙරිකා ජනාධිපති බයිඩන් යුක්රේනයට තවත් ඇමෙරිකන් ඩොලර් මිලියන 800 ක මුදල් ආධාර ලබා දීමට තීරණය කර පැය කීපයක් ගතවෙද්දී රුසියාව මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS