රුසියාව යුක්රේනයට පහර දෙයි

රුසියානු හිතවාදී බෙදුම්වාදීන්ට සහාය දක්වමින්, රුසියානු හමුදා නැගෙනහිර යුක්රේනයේ ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින් පහර දීම ආරම්භ කළේය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියා සිටියේ, යුක්රේනයේ රුසියානු හිතවාදී පළාත්වලට යැවුණු තම සාම හමුදා බලඇණි විශේෂ හමුදා මෙහෙයුමක නියැලෙන බවත්, ඔවුන් රුසියන් හිතවාදීන් සහ රුසියන් හිතවාදී බෙදුම්වාදීන්ට සහාය පළ කරමින් යුක්රේන හමුදා ඉලක්ක කර ගනිමින් පහර දෙන බවත්ය.
තම හමුදා පහර දෙන්නේ යුක්රේන හමුදා ඉලක්ක අඩපණ කිරීමට බවත්, හමුදා කඳවුරු, මිසයිල ආරක්ෂක පද්ධති ආදිය ඉලක්ක කර ගනිමින් පමණක් පහර දෙන බවත් සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් කිසිම ප්‍රහාරයක් එල්ල නොකරන බවත් රුසියන් ජනාධිපති පුටින් ප්‍රතිඥා දී තිබේ.
ඊට අමතරව, ආයුධ පැත්තකට දමා නිවෙස්වලට යන්නැයි රුසියන් ජනාධිපතිවරයා දිගින් දිගටම නැගෙනහිර යුක්රේනයේ යුක්රේන හමුදා සෙබළුන්ගෙන් ඉල්ලීමක් ද කළ බව ද පැවැසෙයි.
රුසියන් හමුදා පහර දෙද්දී, විදෙස් බලවේගයක් මැදිහත් වී, රුසියන් හමුදාවට ප්‍රතිප්‍රහාර එල්ල කළහොත්, දෙවරක් නොසිතා ඊට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට තමන් පසුබට නොවන බව ද රුසියන් ජනාධිපතිවරයා අවධාරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළ අන්දමට, අද (24) සවස වනවිට යුක්රේනයේ නැගෙනහිර වාරය නගරයක් වන මරියපෝල්, කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා, කර්කොව්, ක්රමටොස්ක් සහ බර්ඩ්යාන්ස්ක් යන නගරවලට යුක්රේනයේ රුසියන් හිතවාදී බෙදුම්වාදීන් රුසියන් හමුදාවේ සහාය ඇතිව මිසයිල ප්‍රහාර එල්ල කර තිබුණි. යුක්රේනයේ කියේව් අගනුවරට ද ප්‍රහාරයක් එල්ල වූ බව පැවැසිණි.
යුක්රේන හමුදාව ද පෙරළා රුසියන් හමුදා සහ බෙදුම්වාදීන් ඉලක්ක කරමින් ප්‍රති ප්‍රහාර එල්ල කළ බවත් රුසියන් හෙලිකොප්ටරයක් සහ ප්‍රහාරක යානා දෙකක් බිම හෙළීමට සමත් වුණු බවත් වාර්තා විය. රුසියන් සෙබළුන්ට ද එම ප්‍රහාරයෙන් දැඩි ලෙස හානි සිදුවුණු බව බටහිර හිතවාදී පුවත් සේවා පවසයි. මේ සම්බන්ධයෙන් රුසියාව කිසිවක් පවසා නැත.
රුසියාව පහර දීම ආරම්භ කිරීමත් සමඟ යුක්රේන රජය චෝදනා නගන්න වූයේ රුසියාව සිය සමස්ත හමුදා ශක්තිය යොදා ගනිමින් යුක්රේනය ආක්‍රමණය ආරම්භ කළ බවය. වහා මැදිහත් වී, හැකි සෑම දෙයක්ම කරමින් යුද්ධය ඔඩුදිවීමට ඉඩ නොදෙන්නැයි යුක්රේන රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් ද කළේය.
රුසියන් ජනාධිපති පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා පහරදීම් ආරම්භ කළ අවස්ථාවේ, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊට තදින්ම විරෝධය දැක්වීය. සියලුම ආකාරයේ සම්බාධක රුසියාවට පැනැවීමට ඇමෙරිකන් ජනාධිපති බයිඩන් එම අවස්ථාවේදී පියවර ගත්තේය.
යුක්රේනයේ සිදුවන සෑම ජීවිත හානියක් වෙනුවෙන්ම රුසියාවට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් අනතුරු ඇගවීමක් ද කළේය.
යුරෝපය යළි යුද්ධයකට පටලවා ගැනීමට රුසියාව කටයුතු කර ඇති බවත්, රුසියාවට මුළුමනින්ම අකර්මණ්‍ය කිරීමට සම්බාධක පැනැවීමක් සිදු කරන බවත් යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
මේ අතර 'උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය' හෙවත් නේටෝවේ ප්‍රධානී ජෙන්ස් ස්ටොලෙන්බර්ග් පවසා ඇත්තේ 'නේටෝ' සංවිධානය යුක්රේනයට සහාය පළ කරන බවය.
යුක්රේනය නේටෝ සාමාජිකයකු නොවුණත් නේටෝ හිතවාදී රාජ්‍යයකි. රුසියාවත් යුක්රේනයත් අතර අර්බුදයක් නිර්මාණය වීමට හේතුවක් වූයේ ද යුක්රේනය නේටෝව සමඟ සමීපව කටයුතු කිරීමය.
ඇමෙරිකාව, කැනඩාව, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් එක් වී, 1949 වසරේ දී නේටෝ සංවිධානය පිහිටුවා ගැනීම කළේ සෝවියට් රුසියාවෙන් එල්ල වුණු තර්ජනවලට මුහුණ දීමේ අරමුණින්ය.
අද රුසියාව දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ, බටහිර හිතවාදී යුක්රේනය නේටෝ සංවිධානය සමඟ හිතවත්කම් පැවැත්වීම රුසියාවේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් බවටය.
(රොයිටර්)

