රුසියාව ණය පැහැර හැරලා



රුසියාව ණය පැහැර හැරිය රටක් යැයි ඇමෙරිකාවේ ‘බ්ලූම්බර්ග්’ පුවත් සේවය අද (27) වාර්තා කළේය.

මැයි 27 වැනිදා කල් පිරුනු ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක බැඳුම්කර දෙකක් සඳහා රුසියාවට ලබා දුන් සහන කාලය අද (27) අවසන් වීමත් සමඟ නිල වශයෙන් ණය ගෙවීම පැහැර හැරි රටක් බවට රුසියාව පත් වුණැයි බ්ලූම්බර්ග් පුවත් සේවය පැහැදිලි කළේය.

රුසියාව යුක්රේන ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදා ය. එම ආක්‍රමණයෙන් පසු ඇමෙරිකාව පමුඛ බටහිර රාජ්‍යයන් රුසියාවට දැඩි ලෙස සම්බාධක පැනැවීය.

මේ හේතුව නිසා, ඇමෙරිකන් ඩොලර් බිලියන 40ක බැඳුම්කර සඳහා ගෙවීම් සිදු කිරීම රුසියාවට අසීරු වී ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පැහැදිලි කරති. රුසියාව ණය පැහැර හැරීම සිදුවූයේ ඒ අනුවය.

බැඳුම්කර සඳහා ගෙවීම් නොකර සිටීමට කිසිම හේතුවක් නොමැති නමුත් තමන්ට එසේ ගෙවීම් නොකර සිටීමට සිදුවී ඇත්තේ බටහිර සම්බාධක නිසා යැයි ක්‍රෙම්ලීනය ද නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

රුසියාව මෙසේ ණය ගෙවීම පැහැර හැරි රටක් බවට පත් වූයේ ශතවර්ෂයකට පසුව යැයි ද දේශපාලන විශ්ලේෂකයෝ වැඩි දුරටත් කියා සිටිති.    

(රොයිටර්)


RECOMMEND POSTS