රුසියානු මගී යානයක් ගොඩබාද්දී ගිනිගනී

උඩු ගුවනේ කාර්මික දෝෂයකට ලක්වුණු රුසියානු මගී ගුවන් යානයක්, හදිසියේ ගොඩබෑමට උත්සාහ කළ අවස්ථාවේදී ගිනි ගත් අතර යානයේ සිටි 78 දෙනාගෙන් 41 දෙනකු පිළිස්සී ජීවිතක්ෂයට පත් වූහ. ජීවිතක්ෂයට පත්වුණු 41 දෙනාගෙන් දෙදෙනකු කඩා දරුවන් බව ද පැවැසෙයි.
යානයේ සිටි 78 දෙනාගෙන් පස් දෙනකු යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ය. ගුවන් සේවිකාවන් තිදෙනකු ඒ අතර සිටින බව පැවැසෙයි. මෙම යානය රුසියාවේ අභ්යවන්තර ගුවන් යානයකි. යානය ෂෙරමෙත්යේවෝ ගුවන්තොටුපොළින් ගුවන්ගත වී ඇත්තේ මුර්මන්ස්ක් නමැති නගරය බලා යෑමටය.
ගුවන්ගත වී, මිනිත්තු කීපයක් යද්දී, නියමුවන් ෂෙරමෙත්යේවෝ ගුවන්තොටුපොළ බලධාරීන් අමතා දන්වා ඇත්තේ, යානයේ තාක්ෂණික දෝෂයක් යටගෙන ඇති බවය. ගුවන්තොටුපොළ බලධාරීන් උපදෙස් දී ඇත්තේ වහා යානය ආපසු හරවා ගෙන එන ලෙසටය.
ඒ අනුව, යානය ආපසු ෂෙරමෙත්යේවෝ ගුවන්තොටුපොළට පැමිණියේ හදිසි ගොඩබෑමක් සඳහාය. ගුවන්තොටුපොළ බලධාරීහු යානය ගුවන් පථ සියල්ල හිස් කරමින්, ඇබැද්දියට පත් යානය පැමිණෙන තෙක් සූදානමින් සිටියහ.
යානය ධාවන පථයට ගොඩබාද්දී එහි ඇන්ජින් ගිනි ගත්තේය. ඒ සමඟ යානයේ පසුපස කොටසට ගින්න පැතිරෙන්න විය. යානය ධාවන පථයේ පතිත කරමින් ඉදිරියට ඇදී යන්න වූයේ පසුපස කොටස ගිනිගෙන දැවෙමින්, ගිනි ජාලා සහ දුම් වළා පිට කරමිණි. යානය පතිත වනතුරු ගුවන්තොටුපොළ ගිනි නිවන අංශය, ගිලන් රථ සහ සහන සේවකයෝ සීරුවෙන් සිටියහ.
ගිනිගෙන දැවෙමින් ධාවන පථයේ ඇදී ගිය යානය නවත්වා ගැනීමට නියමුවෝ දෙදෙනා සමත් වූහ. ඒ සමඟ නියමු කුටියට ආසන්නයෙන් ඉදිරියේ ඇති දොරයුව විවිර කිරීමට ගුවන් සේවිකාවන් පියවර ගත් අතර, යානයේ සිටි මගීහු එකා බැගින් රූටා යානයෙන් පිටතට පැමිණ ඉවතට දුවන්න වූහ. ඒ අතරතුරේ ගිනි නිවනට්රක් රථ පැමිණ යානය වට කරමින් ගින්න නිවා දැමීමට යුහුසුළු වූහ. පැය කීපයක් යද්දී ගින්න මුළුමනින්ම නිවා දැමීමට ගිනි නිවන භටයෝ සමත් වූහ.
‘ගින්නෙන් 41 ක් මියගියා. 37 දෙනෙක් දිවි ගලවා ගත්තා. මගීන් 33 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් පස් දෙනාගෙන් සිවු දෙනකු ඒ අතරේ ඉන්නවා.’ යැයි යානය අනතුරට පත්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පරීක්ෂණ කණ්ඩායමේ නිලධාරිනී යෙලේනා මර්කෝව්ස්කාවා මාධ්‍ය හමුවේ පවසා තිබේ.
අකරතැබ්බට මුහුණ දුන්නේ, රුසියාවේ ජාතික ගුවන් සේවය ලෙස සැලකෙන ‘එරෝෆ්ලෝට්’ ගුවන් සේවයට අයත් ගුවන් යානයකි. ‘යානය ෂෙරමෙත්යේවෝ ගුවන්තොටුපොළට ගොඩබෑමට නියමුවන් තීරණය කර ඇත්තේ යානයේ තාක්ෂණික දෝෂයක් හටගත් බව කියමින්. ඒත් දෝෂය කුමක්දැයි ඔවුන් පැහැදිලි කර නැහැ. ගුවන් බලධාරීන් වහා මැදිහත් වෙලා යානය ෂෙරමෙත්යේවෝ ගුවන්තොටුපොළට හදිසි ගොඩබෑමක් කරන්න උපදෙස් ලැබුණා. යානය උඩුගුවනේ ගිනිගෙන පුපුරා යෑමට ඉඩ තිබුණා. එය හදිසියේ ගොඩබෑම නිසයි 37 දෙනකුගේ ජීවිත ගැලවුණේ.’ යැයි ‘එරෝෆ්ලෝට්’ ගුවන් සේවය පවසා ඇත.
ගිනිගත්තේ ‘සුක්හෝයි 100’ වර්ගයේ මගී ගුවන් යානයකි. යානයේ ගමනාන්තය වූ මුර්මන්ස්ක් නගරයේ ආණ්ඩුකාරවරයා නිවේදනය කර ඇත්තේ මියගිය අය වෙනුවෙන් රූබල් මිලියනයක් (ඇමෙරිකන් ඩොලර් 15,300 ක්) ද රෝහල්වල ප්‍රතිකාර ලබන එක් අයකුට රූබල් ලක්ෂ 5 (ඇමෙරිකන් ඩොලර් 7,650 ක්) ද ලබා දීමට පියවර ගන්නා බවය.
මොස්කව්හිදීය (ඒ.එෆ්.පී./ඬේලිමේල්)

