රුසියන් හමුදාව ශක්තිමත් කෙරේ



රුසියන් හමුදාවට කඩිනමින් නව සාමාජිකයන් බඳවා ගන්නැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අණ දී තිබේ.

ජනාධිපති පුටින් මෙසේ අණ දුන්නේ රුසියන් ආරක්ෂක කවුන්සිලයේ ද උපදෙස් සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව රුසියන් හමුදාව නිවේදනය කර ඇත්තේ නව සාමාජිකයන් ලක්ෂ 3 ක් හමුදාවටත්, අතිරේක බළඇණිවලටත් බඳවා ගන්නා බවය. රුසියාව මෙලෙස ඔවුන්ගේ හමුදාව ශක්තිමත් කර ගැනීමට තීරණය කළේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

නව සාමාජිකයන් බඳවා ගනිමින් හමුදා ශක්තිය තර කර ගැනීමට ජනාධිපති පුටින් අණ දුන්නේ, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් රුසියාවට න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල වේවි යැයි යන බිය හටගෙන ඇති බැවිනි. මෙසේ බියක් හටගෙන ඇත්තේ රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමිනි.

රුසියාව යුක්රේනයට හරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ගත්තේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. රුසියන් යුක්රේන යුද්ධයට මේ වනවිට මාස 7 ක් ගත වී ඇති අතර, යුක්රේන හමුදා, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් ලැබෙන අවි ආයුධ භාවිතයට ගනිමින්, රුසියාව විසින් අත්පත් කර ගනු ලැබ තිබුණු නගර සහ පළාත් කීපයක් යළි අත්පත් කරගෙන තිබේ.

ලැබූ එම පරාජය හමුවේ රුසියාව යුක්රේනයට රසායනික හෝ න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි ඇමෙරිකන් බුද්ධි අංශ බිය පළ කර ඇත. රුසියාව එසේ න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් හෝ රසායනික අවි ප්‍රහාරයක් හෝ එල්ල කළොත් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ඊට නොදෙවැනි ආකාරයට රුසියාවට පහර දී රුසියාව විනාශ කරනු ඇතැයි රුසියන් බුද්ධි අංශ බිය පළ කර ඇත.

රුසියන් ආරක්ෂක කවුන්සිලයේ ද උපදෙස් සැලකිල්ලට ගනිමින් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, හමුදාවට නව සාමාජිකයන් බඳවා ගැනීම සඳහා අණ ලබා දුන්නේ ඒ අනුවය.

(රොයිටර්)


RECOMMEND POSTS