රුසියන් විපක්ෂ නායකයා අතුරුදන්



සිර දඬුවම් විඳිමින් සිටින රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි, ඔහු රඳවා ඇති බන්ධනාගාරයෙන් අතුරුදන් වී ඇති බවත්, බන්ධනාගාර බලධාරීන් ඒ සම්බන්ධයෙන් නිහඬව සිටින බවත්, නෙවල්නිගේ නීතීඥවරු චෝදනා නගති.

වසර 20 ක සිරදඬුවම නියම වූ ඇලෙක්සි නෙවල්නි, රඳවා තැබුණේ මොස්කව් අගනුවර සිට සැතපුම් 150 ක් දුරින් පිහිටි රුසියන් බන්ධානාගරයකය. නීතීඥයන් පවසන්නේ, නෙවල්නි මේ වනවිට එම බන්ධනාගාරයේ නොමැති බවත්, ඔහුට සිදුවූයේ කුමක්දැයි ඔවුන්ට කිසිවකු දැනුම් දී නොමැති බවත්ය.

බටහිර හිතවාදියකු වන 47 හැවිරිදි, නෙවල්නි විවිධාකාරයේ චෝදනා රැසකට වරදකරු වී සිටී. රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනාවට ද නෙවල්නි වරදකරු විය. ඒ සියල්ලටම හේතුව ඔහු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අභියෝගයක් වීම සහ පුටින්ගේ උදහසට ලක්වීම යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ලබන 2024 වසරේ දී රුසියන් ජනාධිපතිවරණය පැවැත්වෙයි. දිගටම බලයේ සිටීමේ අපේක්ෂාවෙන් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පුටින් පවසා ඇත. ඇලෙක්සි නෙවල්නි අතුරුදන් යැයි පැවැසෙන්නේ, පුටින්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිලවශයෙන් දැනුම් දුන් දිනයේ සිටය. බන්ධනාගාරයට යැවීමෙන් පසු නෙවල්නිගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහුණු බව ද නීතීඥයන් වැඩි දුරටත් පවසා තිබේ.

71 ක් හැවිරිදි පුටින්, රුසියාවේ ජනාධිපති ධුරය හොබවන්නේ 2012 වසරේ සිටය. ලබන 2024 මාර්තුවේ පැවැත්වෙන රුසියන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළොත්, පුටින් 2030 වසර තෙක් ජනාධිපති ධුරය හොබවනු ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS