රුසියන් යුද නැව්වලට ඩ්‍රෝන ප්‍රහාරයක්



ක්‍රිමියා අර්ධද්වීපයේ සෙවැස්තපෝල් වරායේ නැංගුරම්ලාඇති රුසියන් නාවික හමුදාවට අයත් යුද නැව් ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා මිසයිල ප්‍රහාරයක් එල්ල විය.

මිසයිල ප්‍රහාර එල්ල කළේ යුක්රේන හමුදාව බවත්, බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන්ගේ සහාය එම ප්‍රහාරයට ලැබුණු බවත් රුසියාව චෝදනා කරයි. රුසියාව මෙසේ චෝදනා කර ඇත්තේ කිසිදු ප්‍රබල සාක්ෂියක් ඉදිරිපත් නොකරය.

පසුගිය මාසයේ රුසියාවේ ගෑස් සැපයුම් සිදුවන ගෑස් නල මාර්ගයට ද ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරය එල්ල කළේ ද යුක්රේන හමුදාව සහ ඔවුන්ට සහාය දක්වන බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන් බවට රුසියාව චෝදනා නගා ඇත. එම චෝදනා සම්බන්ධයෙන් ද රුසියාව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැත.

ප්‍රහාරයෙන් එය ප්‍රබල ප්‍රහාරයක් බවත්, රුසියන් යුද නෞකාවකට දරුණු ලෙස හානි සිදුවුණු බවත් රුසියානු හමුදාව පවසා ඇත.

එම ඩ්‍රෝන යානා මිසයිල ප්‍රහාරයෙන් භාණ්ඩ ප්‍රවාහන නැව් සහ සිවිල් නාවික යාත්‍රා කීපයක් ද අනතුරට පත් වුණු බව රුසියන් හමුදාව වැඩි දුරටත් පවසා තිබේ.

ක්‍රිමියා අර්ධ ද්වීපය යුක්රේනයට අයත් කොටසක් වුණු නමුත් 2014 වසරේ සිට ක්‍රිමියා අර්ධද්වීපය පවතින්නේ රුසියානු ග්‍රහණයේය. රුසියාව, ක්‍රිමියා අර්ධද්වීපය එරටට ඈදා ගැනීම කළේ පහර දී එය අල්ලා ගැනීමෙන් පසුවය.

සෙවැස්තපෝල් වරායේ නැව් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල වෙද්දී තුර්කියේ මැදිහත් වීමෙන් රුසියාව සහ බටහිර රටවල් අතරේ එකඟත්වයක් ඇති කරගෙන තිබුණි. ඒ රුසියන් හමුදාවේ බාධාවකින් තොරව යුක්රේනයේ තිරිගු සෙසු රටවලට අපනයනයයි. එය ආහාර අර්බුදයක් නිර්මණය වීම වැළැක්වීමට ගත් තීරණයකි.

කෙසේ නමුත්, සෙවැස්තපෝල් වරායට එල්ල වුණු ඩ්‍රෝන යානා ප්‍රහාරයෙන් අනතුරුව, තිරිගු අපනයන කටයුතු සීමා කිරීමට රුසියානු රජය තීරණය කළේය. මෙය ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ද කනස්සල්ලට හේතුවක් වී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS