රුසියන් නිළිය අභ්‍යවකාශයට



ලොව පළමු චිත්‍රපටය අභ්‍යවකාශයේ රූගත කිරීමට, රුසියන් නිළි 37 හැවිදිරි යුලියා පෙරෙසිල්ඩ් සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂ මෙන්ම ප්‍රධාන නළුවකු ද වන 38 හැවිරිදි කිම් ෂිපෙන්කෝ, අද (5) අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා පිටත්ව ගියහ. ඔවුන් ඉදිරි දින 12 පුරාවට අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටිමින් රූගත කිරීම්වල නියැලෙනු ඇත.

දීර්ඝ පුහුණුවීම්වලින් පසු පෙර සැලැසුම් කළ පරිදි, යුලියා සහ ෂිපෙන්කෝ, අද (5) උඩු ගුවන බලා පිටත්ව ගියේ සෝයූස් රොකට්ටුවක ආධාරයෙන්, සෝයූස් එම්.එස්.16 ගගන කැප්සියුලයෙනි.

රූගත කෙරෙන මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ 'චැලේන්ජ්' (අභියෝගය) යනුවෙනි. රුසියන් අභ්‍යවකාශ ආයතනය වන 'රොස්කොස්මොස්' සහ රුසියන් රජයේ අනුග්‍රහය ලබන 'චැනල් 1' නාලිකාව සම නිෂ්පාදකවරුන් ලෙස චිත්‍රපටයට සම්බන්ධ වී සිටී.

යුලියා සහ ෂිපෙන්කෝ සෝයූස් කැප්සියුලයෙන් අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගිය ගමනේ දී එම ගමනට නායකත්වය දුන්නේ පළපුරුදු රුසියන් ගගනගාමී ඇන්තොන් ෂ්කැප්ලෙරෝව්ය.

සෝයූස් ගගන කැප්සියුලය රැගත් සෝයූස් රොකට්ටුව කසක්ස්තානයේ බයිකනූර් රුසියන් ගගන මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වූ අතර පැය කීපයක් ගතවෙද්දී රොකට්ටුවෙන් වෙන් වුණු ගගන කැප්සියුලය කිලෝ මීටර් 354 ක් දුරින් පෘථිවි කක්ෂයේ රැඳි අභ්‍යවකාශ නැවැතුම්පොළ හා සම්බන්ධ විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS