රුසියන් ජනපති පුටින් කොරෝනා රෝහලට යයි



විශේෂිත ආරක්ෂක ඇඳුම් කට්ටලයකින් සැරැසී, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එරට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස රෝගීන්ගේ සුවදුක් බැලීමට ගියේය.

රුසියාවේ කොරෝනා වයිරස ආසාදිත රෝගීන් ගණන 600 ඉක්මවා ඇති නමුත් තවමත් එරටින් කිසිදු මරණයක් වාර්තා වන්නේ නැත. කොරෝනා ආසාදිත රෝගීන් වෙනුවෙන් මොස්කව් නුවරට ඔබ්බෙන් රෝහලක් පවත්වාගෙන යයි.

රුසියන් ජනපති පුටින් ආරක්ෂක ඇඳුම් කට්ටලයෙන් සැරැසී ගියේ මෙම රෝහලටය. රෝගීන් වෙනුවෙන් සිදු කෙරන ප්‍රතිකාර සම්බන්ධයෙන් විමසමින්, රෝහල් කාර්ය මණ්ඩලයටත් වෛද්‍යවරුන්ටත් ඔවුන් කරන සේවය වෙනුවෙන් ප්‍රශංසා කිරීමට ද රුසියන් ජනාධිපතිවරයා අමතක නොකළේය.

මේ අතර ජනාධිපති පුටින්ගේ උපදෙස් පරිදි තවත් රෝහලක් මොස්කව් අගනුවරට ඔබ්බෙන් ලහිලහියේ ඉදිවෙමින් පවතින බව ද වාර්තා වේ.

මෙම රෝහලේ වැඩ කටයුතුවලින් දින 12 ක් ඇතුළත සියයට 40 ක් අවසන් වී ඇතැයි ද රුසියන් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ. කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළ ගියහොත් ඊට මුහුණදීමට තම සෞඛ්‍ය බලධාරීන් සූදානම් බව ද ජනපති පිටුන් මාධ්‍ය හමුවේ පෙන්වා දී තිබේ.

රුසියානු වැසියන්ට නිවෙස්වලට වී සිටින්නැයි උපදෙස් දෙමින් තහංචි රැසක් පනවා ඇත. වයිරසයෙන් එල්ල වන බලපෑම් හමුවේ රුසියන් ආර්ථිකය කඩා වැටීම වැළැක්වීමට ද ජනාධිපති පුටින් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි ද පැවැසෙයි.

මොස්කව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS