රුසියන් චන්ද්‍ර යානය අනිද්දා සඳට ගොඩබානවා



ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 3’ රෙබෝ යානය පමණක් නොව, රුසියාව වසර 47 කට පසු සඳ ගවේෂණයට යැවූ ‘ලූනා 25’ රොබෝ යානය ද සඳුගේ කක්ෂයට පිවිස සිටින අතර, ඉන්දීය යානයට පෙර, රුසියන් යානය අනිද්දා (21) සඳට පතිත කිරීමට නියමිතය.

ඉන්දීය යානය සඳට පතිත කරන්නේ එලැඹෙන 23 වැනිදාය. යානා දෙකම සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරා ගත් ස්ථානවලට පතිත කරනු ඇතැයි ද පැවැසෙයි. යානා දෙකටම ඇත්තේ එක් ප්‍රධාන අරමුණකි. එනම්, සඳේ පස්වල ඇති ජල අංශු අධ්‍යයනය කිරීමය. එහෙයින්, ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුමත්, ‘ලූනා 25’ මෙහෙයුමත් ඉතා වැදගත් වෙයි.

රුසියාව සහ ඉන්දියාව අතරේ පවතින්නේ මිත්‍රත්වයකි. රුසියන් විද්‍යාඥයන් ‘ලූනා 25’ යානය අභ්‍යවකාශයට යැවූ අවස්ථාවේදීම, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, රුසියන් ගගන පර්යේෂණ ආයතනයට සුබ පැතුවේය.

‘ලූනා 25’ රොබෝ යානය රොකට් පද්ධතියකින් සමන්විතය. යානය සඳට ගොඩබෑම සිදු කරන්නේ ඒවා ආධාරයෙනි. යානයට බලය ලැබෙන්නේ එහි ඇති සූර්ය පැනලවලිනි. ‘ලූනා 25’ යානයේ මෙහෙයුම් කාලය වසරකි. පස් සාම්පල පරීක්ෂා කිරීමට කුඩා රොබෝ අතක් ද යානයට සම්බන්ධ යැයි පැවැසෙයි. යානයේ ප්‍රමාණය කුඩා මෝටර් රථයක් තරම්ය. බර කිලෝ 30 කි. රුසියන් රූබල් මිලියන 100 ත් 200 ත් අතර මුදලක් යානය නිපදවීමට වැය වී ඇත.


RECOMMEND POSTS