රාජ්‍ය ලේකම් උතුරු කොරියාවේ



ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ තෙවැනි වරටත් උතුරු කොරියාවේ ප්යොංයැංග් අගනුවර බලා පිටත්ව ගියේය.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රමුඛ රජය න්‍යෂ්ටික අවිහරණය කරන බවට ප්‍රතිඥා දී ඇත. එම කටයුතු සිදුවන්නේ කෙසේදැයි සොයා බැලීම මයික් පොම්පේඕගේ මෙම සංචාරයේ අරමුණ යැයි පැවැසෙයි.

ට්‍රම්ප් මැදිහත් වී, පොම්පේඕ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ධුරයට පත් කිරීමට පෙර, ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. පොම්පේඕ පළමු වරට රහසේම උතුරු කොරියාවට ගොස් උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා පැවැත්වූයේ සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානියා ලෙසය. එය ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවේ ඇමෙරිකා ජනපති ට්‍රම්ප් විසිනි. උතුරු කොරියාව සහ ඇමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය අතර යහපත් සබඳතා ගොඩ නැගුණේ ඉන්පසුවය. ට්‍රම්ප් මැදිහත් වී, පොම්පේඕට ඇමෙරිකා රාජ්‍ය ලේකම් ධුරය ලබා දුන්නේය.

පසුගිය 12 වැනිදා සිංගප්පූරුවේදී එකිනෙකා හමුවීමෙන් පසු, උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවී යහපත් සබඳතා ඇතිකර ගත්තත්, උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවිහරණ කටයුතු අවසන් කරන තුරු, උතුරු කොරියාවට කිසිදු බුරුළක් ලබා නොදෙන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

ඇමෙරිකාව උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය සූදානමින් සිටී. එසේ කරන්නේ ද, උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු මුළුමනින් නවත්වා දමා, න්‍යෂ්ටික අවිහරණයක් කළොත් පමණක් යැයි ද ට්‍රම්ප් වැඩි දුරටත් අවධාරණය කර ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS