යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලින් යයි



කිලෝ මීටරයක විශ්කම්භයකින් යුත් විශාල ග්‍රහකයක් පෘථිවිය අසලින් ගමන් කිරීමට නියමිතය. ග්‍රහකයේ ගමන් මඟ දශමයකින් වෙනස් වුවහොත් එය පෘථිවියේ ගැටීමට ඉඩ ඇතැයි තාරකා විද්‍යාඥයෝ බිය පළ කරති.

කෙසේ නමුත් ඇමෙරිකාවේ නාසා ආයතනය තහවුරු කර ඇත්තේ ‘7482-1994 පී.සී.’ යන නමින් නම් කළ මෙම ග්‍රහකයෙන් පෘථිවියට අනතුරක් නැති බවය.

‘7482-1994 පී.සී.’ ග්‍රහකය, පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.93 ක් දුරින් පෘථිවිය අසලින් ගමන් කරනු ඇති බව නාසා ආයතනය ගණනය කර ඇත. මෙම ග්‍රහකය යළි පෘථිවිය අසලින් ගමන් කරනු ඇත්තේ වසර 200 කින් බව ද පැවැසෙයි.

‘7482-1994 පී.සී.’ ග්‍රහකය සොයා ගත්තේ 1994 වසරේ අගෝස්තු 9 වැනිදා ඔස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥ රොබට් මැක්නොට් ය.

මැක්නොට් ග්‍රහකය හඳුනා ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ‘සයිඩින් ස්ප්‍රිංග්’ දුරේක්ෂයේ ආධාරයෙනි.

යම් හෙයකින් ‘7482-1994 පී.සී.’ ග්‍රහකයේ ගමන් මඟ වෙනස් වී පෘථිවියට කඩා වැටුණහොත්, එය පරමාණු බෝම්බ 7,500 ක් එක වර පුපුරුවා හැරියාක් මෙන් මහා විනාශයක් සිදුවනු ඇති බව තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති.

මෙම ග්‍රහකය අද (19) ශ්‍රී ලංකාවේ වේලාවෙන් අලුයම 3.21 ට පමණ පෘථිවිය අසලින් ගමන් කරනු ඇතැයි පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS