යුද්ධය අවසන් කරන්න චීන සාම සැලැස්මට පුළුවන්



රුසියනු යුක්රේන යුද්ධය නිමා කිරීමට චීනය ඉදිරිපත් කර ඇති සාම සැලැස්මට හැකිවේවි යැයි තමන් විශ්වාස කරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියයි.

රුසියන් යුක්රේන යුද්ධය අවසන් වුවත්, යුක්රේනය හෝ බටහිර රටවල් හෝ කිසිදු අවස්ථාවක සාමයට යොමු නොවනු ඇතැයි ද රුසියන් ජනාපධිතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

රුසියාව, අසල්වැසි යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ යුක්රේනය ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි. ‘නේටෝ’ යනු ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් පිහිටුවාගත් යුද සන්ධානයයි. පුටින්ගේ අණ පරිදි රුසියාව යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය 2022 වසරේ පෙබරවාරියේය.

රුසියන් යුක්රේන යුද්ධයට චීනය මැදිහත් වී සිටින අතර, චීනය නව සාම සැලැස්මක් සකස් කර ඇත්තේ සටන් විරාමයක් ද සමඟය. එම සාම සැලැස්ම රුසියන් ජනාධිපති පුටින්ට ඉදිරිපත් කළේ චීන ජනාධිපති ෂී ජින්පින්ය. ඒ, රුසියාවේ මොස්කව් අගනුවර සංචාරයකට පැමිණෙමිනි.

චීනය කොන්දේසි විරහිතව රුසියාවේ මිතුරකු වී සිටින බව ද එම සංචාරයේ දී චීන ජනාධිපතිවරයා රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින්ට පැහැදිලි කළේය.

චීනය ඉදිරිපත් කළ එම සාම සැලැස්ම සාර්ථක වනු ඇති බවත් රුසියන් යුක්රේන යුද්ධයේ අවසානයක් දැකිය හැකි බවත් පුටින් පැහැදිලි කර ඇති නමුත්, යුක්රේන රජය තවමත් එම සාම සැලැස්ම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.

(රොයිටර්)


RECOMMEND POSTS