යුක්රේනයේ සිටි ප්‍රංශ වාර්තාකරුවෙක් මියයයි



යුක්රේන යුද්ධය වාර්තා කරමින් සිටි ප්‍රංශ පුවත් සේවයේ විඩියෝ වාර්තාකරුවකු වන 32 හැවිරිදි අර්මාන් සෝල්ඩින් රොකට් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් විය.

ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වන කමිටුවට අනුව යුක්රේන යුද්ධය හේතුවෙන් මාධ්‍යවේදීන් 17 දෙනකු මරණයට පත්ව ඇති බව පැවැසෙයි. අර්මාන් සෝල්ඩින් මියගිය 17 වැනියාය.

නැගෙනහිර යුක්රේනයේ චසිව් යාර් වෙත එල්ල වූ රොකට් ප්‍රහාර මාලාවකින් අර්මාන් මරණයට පත්වූයේ යැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබේ. චසිව් යාර්, යුක්රේනයේ ප්‍රධාන නගරයක් වන බක්හ්මුත් හි පිහිටා ඇති අතර බක්හ්මුත් යනු යුක්රේන යුද්ධයේ දරුණු හා උග්‍ර ගැටුම් පවතින ප්‍රදේශයකි.

රොකට් ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අර්මාන් සෝල්ඩින් ඇතුළු පිරිස යුක්රේන සොල්දාදුවන් පිරිසක් සමඟ සිට ඇති අතර මෙම ප්‍රහාරයෙන් වෙනත් කිසිවකුටත් තුවාල සිදුව නැත. අර්මාන් සමඟ සිටි කණ්ඩායමේ ආරක්ෂක උපදේශකයකු ද සිට ඇත.

අර්මාන් සෝල්ඩින්, රුසියාව, යුක්රේනය ආක්‍රමණය කරමින් දැවැන්ත යුද්ධයක් ප්‍රකාශ කළ අවස්ථාවේ දී යුක්රේනයට පැමිණි මුල් මාධ්‍යවේදීන් කිහිපදෙනාගෙන් කෙනෙකි. මීට සතියකට පෙර ඔහු රොකට් ප්‍රහාරයකින් දිවි ගලවා ගත්තේ ය.

මීට සති දෙකකට පෙර එල්ල වූ ප්‍රහාරයකින් ඉතාලි ජාතික මාධ්‍යවේදියකු තුවාල ලැබූ අතර යුක්රේන ජාතික මාධ්‍යවේදියකු මරණයට පත්විය. අර්මාන් සෝල්ඩින්ගේ මරණය සම්බන්ධයෙන් කනගාටුව සහ කනස්සල්ල පළ කරමින් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රෝන් ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර තිබිණි.

(රොයිටර්)


RECOMMEND POSTS