යුක්රේනයේ රෝහලකට ප්‍රහාරයක්



රුසියානු හමුදා ඊයේ (8) යුක්රේනයේ කීව් අගනුවර ස්ථාන කීපයක් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, එක් මිසයිල ප්‍රහාරයකින්, කීව් අගනුවර ළමා රෝහලක් විනාශ වූ බවත් විදෙස් මාධ්‍ය පවසයි.

රුසියන් ප්‍රහාරවලින් 36 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර, 166 දෙනෙක් තුවාල ලැබූහ. ඇතැම් තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව යුක්රේන රජය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

මිසයිල ප්‍රහාරයෙන් විනාශ වූයේ ‘ඔහ්මට්යාඩ්’ නමැති ළමා රෝහල් ගොඩනැගිල්ලය.  එල්ල වුණු ප්‍රහාරයෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් කීප දෙනකු මියගිය බව ද පැවැසෙයි.

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන සහ ඉන්ද්‍රයන් බද්ධ කිරීම් සිදු කරන කීව් අගනුවර ප්‍රධාන පෙළේ රෝහලක් ලෙස සැලකෙන්නේ ද ‘ඔහ්මට්යාඩ්’ ළමා රෝහලය.

ළමා රෝහලට එල්ල කළ ප්‍රහාරය ඇතුළු යුක්රේනයේ කීව් අගනුවරට ඊයේ (9) එල්ල වුණු සෙසු මිසයිල ප්‍රහාර තරයේ හෙලා දකින බව
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.

රුසියානු හමුදාව, යුක්රේනයේ කීව් අගනුවරට මෙම මිසයිල ප්‍රහාරය එල්ල කළේ, 75 වැනි ‘නේටෝ’ මහ සමුළුව ඇමෙරිකාවේ පැවැත්වීමට සූදානම් වෙද්දීය.  

නේටෝ සමුළුවේ සත්කාරකරු වන්නේ ඇමෙරිකාව වන අතර, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද සමුළුවට සහභාගී වීමට ඇමෙරිකාවට පැමිණෙනු ඇත. 

‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු ඇමෙරිකාව, කැනඩාව ඇතුළු යුරෝපා බටහිර රටවල් එක් වී, රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි.

රුසියාව යුක්රේනයට පහර දෙන්නේ යුක්රේනය රුසියාවේ ස්වෛරීත්වයට තර්ජනයක් වන ආකාරයට, ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි.

(ඒ.එෆ්.පී.)

 

RECOMMEND POSTS