යුක්රේනයට බිලියන 1.34 ක් මුදල් ආධාර



රුසියන් ප්‍රහාරවලින් බැටකන යුක්රේනයට, ඇමෙරිකන් ඩොලර් බිලියන 1.34 ක මුදල් ආධාර ලබා දීමට ලෝක බැංකුව පියවර ගෙන ඇත.

රුසියන් ආක්‍රමණය හමුවේ, අඩපණ වුණු යුක්රේනයට ආර්ථික ස්ථාවරත්වයක් ලබා දීමේ අපේක්ෂාවෙන්, මෙම මුදල් ආධාර ලබා දුන් බව ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

යුක්රේන ආක්‍රමණය හමුවේ ඇමෙරිකාවේත් යුරෝපා සංගමයේත් සහාය යුක්රේනයට හිමිවෙයි. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මැදිහත් වී යුක්රේනයට මුදල් ආධාර මෙන්ම අවි ආයුධ පවා ලබා දෙයි.

යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 60 ක ආධාර පැකේජයක් ලබා දීමට බයිඩන් පරිපාලනය තීරණය කර ඇති නමුත්, ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) අනුමැතිය ඊට හිමිවී නැත.

ඒ ප්‍රතිවාදී රිපබ්ලිකන් පාක්ෂිකයන් සහ ජෝ බයිඩන් අතරේ පවතින මත ගැටුම් හේතුවෙනි.

ඇමෙරිකන් මුදල් ආධාර ප්‍රමාද වෙද්දී, ලෝක බැංකුවෙන්  ඇමෙරිකන් ඩොලර් බිලියන 1.34 ක් හිමිවීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සතුට පළ කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS